2010/06/10

වංසකතාවලින් හෙළිවන අනුරාධපුර යුගයේ දේශපාලන ඉතිහාසය සංක්ෂිප්තව (2)

කලින් ලිපිය හා සම්බන්ධයි....................................

වංසකතාවල සඳහන් වන අනුරාධපුර යුගයට පෙර අවධියේ ඉතිහාසය (සංක්ෂිප්තව)

මෙම පැවරුමේදී අවධානය යොමු වූ වංසකතා හතරෙහිම පොදුවේ බුදුන් වහන්සේ තුන් වරක් ලක්දිවට වැඩම කිරීම පිළිබඳව සඳහන් වේ. ඊට අමතරව ලක්දිව ජනාවාස ඇතිවීම සම්බන්ධවද වෙනස් වෙනස් කතා පුවත් ඉදිරිපත්කර තිබේ. විජය ලංකාවේ රාජවංශයේ ආරම්භකයා ලෙස මේ සියල්ලේම දක්වා ඇති අතර එතැන් පටන් පණ්ඩුකාභය දක්වා රාජවංශය දක්වා ඇත. මහාවංසයෙන් වගු රට කළිඟු රජුගේ දුව සිංහයෙක් හා සංවාසයෙන් සිංහබාහු හා සිංහ සීවලී නමින් දරුවන් දෙදනෙකු ලැබුණු අතර පසු කාලයේ සිංහබාහු තම පියා වූ සිංහයා මරා දැමීමෙන් පසුව සිංහ සීවලී සමඟ විවාහ වී ලාට රට රජ බවට පත්ව රාජ්‍යය කළේය. ඔවුන්ට උපන් දරුවන්ගෙන් වැඩිමල් නිවුන් දරුවන් වූ සුමිත්‍ර හා විජය අතරින් විජය දාමරිකයෙක් වූ නිසා නැව් නංවා පිටුවහල් කිරීමට සිදුවිය. එසේ පැන්නූ විජය ලක්දිවට පැමිණ මෙහි සිටි යක්ෂ ගෝත්‍රිකයන් මරා දමා රාජ්‍යත්වයට පත් විය. දීපවංසයේ, පූජාවලයේ, රාජාවලියේ දැක්වෙන්නේ ද මෙම පුවතමය. විජයට පසුව උපතිස්ස ඇමතියා තාවකාලිකව රාජ්‍යය පාලනය කළේය. ඉන් පසුව පණ්ඩුවාසදේව හා ඔහුගේ පුත් අභය යන අය රාජ්‍යය කළේය. පණ්ඩුකාභයගෙන් ඇරඹෙන අනුරාධපුර යුගය ඉන් පසුව උදාවේ.


වංසකතා ඇසුරෙන් ගොඩනැගෙන අනුරාධපුර යුගයේ දේශපාලන ඉතිහාසය (සංක්ෂිප්තව)

පකුණ්ඩකඬ යන නම දීපවංසයේ පණ්ඩුකාභය හැඳින්වීමට දී ඇත. පණ්ඩුකාභය නම තැබුවේ මුත්තනුවන්ගේ හා දෙවන මමාගේ නම් එක්කර යැයි මහාවංසයේ එයි. ඒ අනුව අභය මාමා මුල් කාලයේ සිටම පණ්ඩුකාභය සම්බන්ධව මධ්‍යස්ථව කටයුතු කළ බව අනුමාන කළ හැකිය. ඔහු මැරීමට මාමාවරු යෙදු විවිධ උපක්‍රමත් කුමරු ඒවායින් ගැලවුනු ආකාරයත් මහාවංසය පවසයි. විජයගෙන් ඇරඹෙන ලංකා ඉතිහාසයේ රාජ්‍යත්වය සම්බන්ධව ඇතිවූ මුල්ම ගැටුම මෙයයි. 16 වැනි වියේදී පණ්ඩුල බමුණාගේ ඉගැන්වීම් හා සහය යටතේ මාමාවරු මරා රජ වීමට අවශ්‍ය කටයුතු සංවිධානය කළ ආකාරය දීපවංසයට වඩා සවිස්තරව මහාවංසයේ සඳහන්වී ඇත. මාමාවරුන්ට එරෙහි සටනේ දී පණ්ඩුකාභය කුමරුට යක්ෂ ගෝත්‍රික සහය හිමිවුනා යුද්ධ ආරම්භකර මාමාවරු 7 ක් මරා අවුරුදු 20 දී අනුරාධපුර රජවුනු බවයි දීපවංසයේ ඇත්තේ. මහාවංසයේ මාමාවරු 8 දෙකේ මැරූ බවත් රාජාවලියේ මාමාවරු 9 දෙනෙක් මැරූ බවත් සඳහන් වේ. පසුව 37 වන වියේදී රාජ්‍යත්වයට පත් වුනා. අනුරාධපුරය ප්‍රථම වතාවට ලක්දිව අගනගරය බවට පත්වුණා. අභිෂේකයෙන් දස වසරකට පසුව ලංකාවේ ග්‍රාම හා නගර වීදි සටහන් කළා. පණ්ඩුකාභය යකුන්ගේ හා මිනිසුන්ගේ උපකාරයෙන් වසර 70 ක් රජ කළ බව දීපවංසයේ ඇත. පූජාවලියෙහි මුලින්ම සුළුවසේ හා මහාවසේ රජවරුන්ගේ රාජ නාමාවලිය දක්වා ඇත. ඊට පසුව සංෂිප්තව රජවරුන් ගැන දක්වා ඇති අතර එම විස්තරය ආරම්භ වන්නේ සිරිලක සත්වනුවැ ඉපැදී පින්වක් වූ දේවානම්පිය තිස්ස රජුගෙනි. එතෙක් සිටි රජුන් ගැන සඳහන් නොවේ.

පණ්ඩුකාභය ගෙන් පසුව රාජ්‍යත්වයට පත් වුනේ ඔහුගේ පුතා වූ මුටසිව කුමරුය. ඔහු වසර 60 ක් රජකළා. නමුත් රාජාවලියේ පණ්ඩුකාභයට පසු රජ වූ බව දක්වන්නේ ඔහුගේ පුතා වූ ගණතිස්ස නැමැත්තෙකි. ඔහු වසර 40 ක් රජ කර ඇති අතර මුටසිව දක්වා ඇත්තේ ගණතිස්සගේ පුතා ලෙසය. වෙනත් වංසකතාවල එවැන්නක් දක්නට නැත. ඔහුගේ ඇවෑමෙන් ධර්මාශෝක රජුගේ අභිෂේකයෙන් සතළොස්වන වසරේ හේමන්ත සෘතුවේ දෙවන මස දෙවන පෑතිස් (ක්‍රි:පූ 250-210) රජ වුණු බව මහාවංසයේ ඇත.

දේවනම්පිය තිස්ස මුටසිව රජුගේ දෙවන පුතාය. දීපවංසයේ ඔහුගේ සහෝදරයින් දස දෙනාගේ හා සහෝදරීයන් දෙදනාගේ නම් සඳහන් වෙනවා. වැඩිමහල් සහෝදරයාට රාජ්‍යත්වය හිමිනොවුනේ ඇයිද කියා වංසකතාවල සඳහන් නොවේ. මෙතුමාගේ කාලයේ දී ඉන්දියාව සමඟ පැවත් දේශපාලනික සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස මෞර්ය අභිෂේක ක්‍රමය ලංකාවට ලැබුනා. දේවනම්පිය තිස්ස රජු වසර 40 ක් රජ කළා.

ඊට පසු ඔහුගේ සහෝදර උත්තිය රජවී දස වසරක් රාජ්‍යය විචාළේය. ඔහුගේ ඇවෑමෙන් ඔහුගේ සහෝදර සිව හෙවත් මහාසිව රජවුණා. ඔහුගේ රාජ්‍ය කාලය ද වසර දහයකි. ඔහු ඇවෑමෙන් සූරතිස්ස රජවී දස වසරක් රජකළා. නමුත් රාජාවලියේ ඇත්තේ දේවනම්පිය තිස්සට පසු ඔහුගේ සහෝදරයන් වූ සූරතිස්සත් ඉන් පසු උපතිස්සත් වසර 10 බැගින් රජකළ බවය. මහාසිව ගැන සඳහන් නොවේ. දේවනම්පිය තිස්සගේ සහෝදරයෙකු වූ මහානාග රුහුණු රජ පෙළපත හා සම්බන්ධ වුනු ආකාරයත් එහි සඳහන් වේ. රුහුණේ රජවරු නිතිපතා අනුරාධපුරයට කප්පම් දුන් බවත් රාජාවලිය පවසයි. එය සත්‍යයක් නම් දේවනම්පිය තිස්ස රාජ්‍ය කාලයේ දී ද රුහුණ අනුරාධපුරට යටත්ව තිබෙන්නට ඇත. සූරතිස්ස රජු සමයේ ලංකාවට අසුන් ගෙනා සේන ගුත්තික නැමති ද්‍රවිඩ අශ්වචාරීන් දෙදනෙක් රජු මරා වසර 12 ක් රට පාලනය කළ බව දීපවංසයේ සඳහන් වේ. සේන ගුත්තික රාජ්‍ය කාලය මහාවංසයේ හා රාජාවලියේ ඇත්තේ වසර 22 ක් ලෙසය. අනුරාධපුර යුගයේ දී එල්ල වූ පළමු විදේශ ආක්‍රමණය මෙය වන අතර ප්‍රථම වතාවට ද්‍රවිඩ පිරිසකට අතට රාජ්‍ය බලය ගියේ ද මේ අවස්ථාවේදීය. ඉන් පසුව අසේල ඔවුන් මරා වසර 10 ක් රජකළා.

ඉක්බිති අසේල මැරූ එළාර නැමති ද්‍රවිඩ රජු වසර 40 ක් රාජ්‍ය පාලනය කළේයැයි දීපවංසය පවසයි. නමුත් මහාවංසයේ සඳහන් වන ආකාරයට එළාර වසර 44ක් රජකළා. එකළ රුහුණේ පාලක කාවන්තිස්ස එළාරට කප්පම් දුන් බව රාජාවලියේ සඳහන් වේ. දුටු ගැමුණු අභා (ක්‍රි:පූ 161-137) රජ එළාර මරා සිංහල රට එක් කර 24 වසරක් රජකළා. පළමු වතාවට ලංකාව එක් සේසත් කළා යන අදහස ඇතිවුණා. දුටු ගැමුණු රජු රාජ්‍යත්වයට පත් වීම දක්වා මහානාග ගෙන් ඇරඹි රුහුණු රජ පරපුර ගලා ගිය ආකාරය මහාවංසයේ විස්තර කර ඇත. දුටු ගැමුණු කුමරු ගේ පියා වූ කාවන්තිස්ස දුර්වල පාලකයෙකු ලෙස මහාවංසයේ දක්වා ඇතත් ඔහුගේ දූරදර්ශී දේශපාලනික සැලසුම් නිසා එළාරට එරෙහිව දුටු ගැමුණුට සටන් කර ජය ගැනීමට පහසු වුණා. කාවන්තිස්සගේ ඇවෑමෙන් රුහුණේ රජකම සඳහා දුටු ගැමුණු හා සද්ධාතිස්ස අතර දේශපාලන අරගලයක් ඇති වුන බව මහාවංසයේ ලියවී ඇත. එය භික්ෂූණ් වහන්සේලා මැදිහත් වී වැළකුවා. දුටු ගැමුණු රජුගේ මරණයෙන් පසුව ඔහුට පුතෙකු සිටිය ද සද්ධාතිස්ස (ක්‍රි:පූ 137-119) රාජ්‍යත්වයට පත්වූවා.

සද්ධාතිස්ස රජු 18 වසරක් රාජ්‍යය ගෙන ගියා. ඔහුගේ මරණයත් සමඟ දේශපාලන අර්බුද ඇතිවුණා. ඇමතිවරු හා භික්ෂූණ් වහන්සේලා එක්ව සද්ධාතිස්සගේ වැඩිමහල් පුතා වූ ලඤ්ජතිස්ස නොසලකා බාල පුතා වූ ථුල්ලත්තන (ක්‍රි:පූ 119) රාජ්‍යත්වයට පත් කළා. ලඤ්ජතිස්ස එය අසා රුහුණේ සිට පැමිණ ඔහු මරා රජ වුණා. ථුල්ලත්තන සිටියේ මාස 1 යි දින 10 යි. ලඤ්ජතිස්ස (ක්‍රි:පූ 119-109) මුල් කාලයේ භික්ෂූණ් වහන්සේලාට එරෙහි පාලනයක් ගෙන ගියත් පසුව තත්ත්වය වෙනස් වුණා. ඔහු වසර 9 ක් හා මාස 8 ක් රජ කළා. ඉන්පසු රජ වුනේ ඔහුගේ මල්ලී ඛල්ලාටනාග (ක්‍රි:පූ 109-103) කුමරුය. 6 වසරක් රජ කළ එම රජු අභ්‍යන්තර කුමන්ත්‍රණයකින් මරා දැමු සෙනෙවියෙකු වූ මහාරට්ඨක රජු බවට පත්වුණා. රාජාවලියේ ලඤ්ජතිස්සට පසු රජ වූ බව සඳහන් වෙන්නේ වලගම්බාය. ලඤ්ජතිස්ස 39 වසරක් රජ කළ බවත් එහි කියවේ. මහාරට්ඨක රජ කළේ එක් දිනක් බවයි දීපවංසයේ ඇත්තේ. පූජවලියේ මහාරට්ඨකගේ කුමන්ත්‍රණය ගැන කිසිවක් සඳහන් නොවේ. එහි ඇත්තේ ඛල්ලාටනාග ගෙන් පසු වලගම්බා (ක්‍රි:පූ 103) රජ වූ බවයි. මහාවංසයේ ආකාරයට මහාරට්ඨක මරා දැමු ඛල්ලාටනාග රජුගේ මල්ලී වූ වලගම්බා රජ්‍ය පාලනය ලබා ගත්තා. ඛල්ලාටනාගගේ පුතා වූ මහා චූලික නම් කුමරු පුත්‍ර ස්ථානයේ තැබූ අතර කුමරුගේ මෑණි වූ අනුලා සිය බිසව කර ගත්තේය.

වලගම්බාට පළමු වතාවේ සිය පාලනය ගෙනයාමට හැකිවූයේ මාස 5 කි. ඔහුට රුහුණේ නකුල නැමති නගරයේ තිස්ස නම් බ්‍රාහ්මණයෙකුටත් මහ තොටට ආ ද්‍රවිඩයන් 7 දෙනෙකුටත් එක්වර මුහුණ දෙන්නට සිදුවුණා. මහාවංසයේ ඇති ආකාරයට වලගම්බා රජු උපක්‍රමශීලීව කටයුතු කර තිස්ස හා ද්‍රවිඩයන් 7 දෙනා (ක්‍රි:පූ 103-89) අතර ගැටුමක් ඇතිකර ඇත. එයින් තිස්ස පරාජයට පත්වී ඇති අතර ද්‍රවිඩයන් පිරිස අනුරාධපුරය ආක්‍රමණය කිරීම නිසා වලගම්බා පළා ගියා. ද්‍රවිඩයන් 7 න් එක් අයෙකු සෝමා දේවිය රැගෙනත් තවෙකෙකු පාත්‍රා ධාතුවත් රැගෙන ඉන්දියාවට යලි පිටත් වුවේය. ඉතිරි ද්‍රවිඩයෝ පස්දෙනා එකිනෙකා මරා ගනිමින් වසර 13 ක් හා මාස 7 ක් පාලනය කළා. අවසාන ද්‍රවිඩ පාලකයා දාඨිය බවයි දීපවංසයේ සඳහන් වෙන්නේ. සැඟව සිටිය අවධියේ වලගම්බාගේ දැඩි ස්වරූපය නිසා ඇමතිවරු සමඟ ආරවුල් ඇති වුණු බවත් භික්ෂූණ් වහන්සේලාගේ මැදිහත්වීමෙන් ඒවා සංසිදවූ බවත් මහාවංසය පවසනවා. පසුව අවසාන ද්‍රවිඩයත් මැරූ වලගම්බා දෙවන වර (ක්‍රි:පූ 89-77) වසර 12 ක් රජ කළා. වලගම්බාට පසු රජ වූයේ ඔහු යටතේ හැදී වැඩුනු ඛල්ලාටනාගගේ පුතු වූ මහා චූලී මහා තිස්ස. (ක්‍රි:පූ 76-62) ඔහු වසර 13 ක් රජ කළ අතර ඔහුගේ මරණයෙන් පසු වලගම්බාගේ පුතා වූ චෝරනාග (ක්‍රි:පූ 62-50) රජ්‍යත්වයට පත්වුණා.

ඔහුව ලෝවැස්සන් එක්ව මරූ බව රාජාවලිය පවසයි. චෝරනාග මිය ගියේ බිසව වූ අනුලා වස දීමෙන් යැයි මහාවංසයේ සඳහන් වේ. නමුත් දීපවංසයේ අනුලා චෝරනාගගේ බිසව යැයි සඳහන් නොවේ. පූජාවලියේ ඇත්තේ අනුලා කුඩා තිස්සගේ බිසව බවයි. එමෙන්ම චෝරනාග කිසිවෙකු විසින් මැරූ බවක්ද නොකියවේ. ඔහුගේ රාජ්‍ය කාලය වසර 12 ක් වූ අතර පසුව රජවූයේ මහා චූලී මහා තිස්සගේ පුතු වූ කුඩා තිස්සය. වසර 3 ක් ඔහු රජ කළ අතර අනුලා ඔහුත් මරා දැමූ බව මහාවංසයේ සඳහන් වේ. ඉන් පසුව අනුලා කිහිපදෙනෙකුටම රාජ්‍යත්වයට පත්වීමට උපකාර කළා. ඒ අතර සිව නම් දොරටුපාලයා අවුරුදු 1 යි මාස 2 ක කාලයකටත්, වටුක නැමති ද්‍රවිඩයා අවුරුදු 1 යි මාස 2 ක කාලයකටත්, දර කැටියා අවුරුදු 1 යි මාස 1 ක කාලයකටත්, නීලිය බමුණා මාස 6 ක කාලයකටත් රාජ්‍යත්වයට පත්කර ඇය විසින්ම වස දී මරා දැමුවා. පූජාවලියේ වාසුබී නැමැත්තෙකුත් ඒ ආකාරයෙන්ම වසරකුත් මාස 1 ක් රාජ්‍යයට පත්කර මරා දැමූ බව සඳහන් වේ. අවසානයේ අනුලා බිසවම (ක්‍රි:පූ 47-42) පාලනය ගෙන ගියා. මෙය අනුරාධපුර යුගයේ කාන්තාවක් රජ වූ ප්‍රථම අවස්ථාවයි. ඇගේ පාලනය මාස 4 ක කාලයක් පැවතියා. ඇය මරා දැමූ මහා චූලී මහා තිස්සගේ පුතෙකු වූ මකලන්තිස්ස (කූටකන්නතිස්ස) (ක්‍රි:පූ 41-19) වසර 22 ක් රජ කළා. ඉක්බිති කූටකන්නතිස්සගේ පුතෙකු වූ අභය හෙවත් භාතිකාභය (ක්‍රි:පූ 19 ක්‍රි:ව 9) රජ්‍යත්වයට පත්වී 28 වසරක් පාලනය ගෙන ගියේය.

භාතිකාභයට පසුව සොහොයුරා වූ මහා දාඨික මහා නාග (ක්‍රි:ව 9-21) රජ වුණා. ඔහුට පසු ඔහුගේ පුතා වූ ආමණ්ඩ ගාමිණී අභය (ක්‍රි:ව 22-31) රජු බවට පත් වුණා. සතුන් නොමැරීමේ රාජ ආඥාවක් මෙතුම ප්‍රකාශයට පත් කළා. වසර 9 කුත් මාස 8 ක් පාලනය ගෙන ගියේය. ඔහු මරා දැමූ මල්ලී වූ කණීරාජාණු තිස්ස (ක්‍රි:ව 31-34) වසර 3 ක් රට පාලනය කළේය. රාජාවලියේ ආමණ්ඩ ගාමිණී අභය රජුගේ සිට වංකනාසික තිස්ස රජු දක්වා රට පාලනය කළ රජවරුන් ගැන සඳහන් නොවේ. කණීරාජාණු තිස්ස ඇවෑමෙන් ආමණ්ඩ ගාමිණී අභය ගේ පුතෙක් වූ චූලාභය (ක්‍රි:ව 34-35) රජ වී වසරක් රාජ්‍යය විචාළේය. ඉන් ඉක්බිති යළිත් කාන්තාවක් බලය ලබා ගත් අතර ඇය ආමණ්ඩ ගාමිණී අභයගේ දියණියක් වූ සීවලී කුමරියයි. (ක්‍රි:ව 35) ඇය මාස 4ක් පාලනය ගෙන ගියාය. ඇයව විවාහ කරගත් ඉලනාග (ක්‍රි:ව 35-44) රජු බවට පත් වුණා. ඔහු රජු වූ වසරේ තිසා වැවට ගිය අවස්ථාවක ලම්භකර්ණ වංශිකයන් හා රජු අතර ආරවුලක් ඇතිවුණු බව මහාවංසයේ සඳහන් වේ. ලම්භකර්ණ වංශිකයන් රජු සිරකළ අතර බිසවගේ උපකාරයෙන් සිරෙන් පැන ඉන්දියාවට පලා ගියා. වසර 3 කින් රුහුණට පැමිණ සේනා සංවිධානය කර ලම්භකර්ණ වංශිකයන් පරදා යළි රජු වී වසර 6 ක් බලයේ සිටියා. ඉලනාගට පසුව පුතෙකු වූ චන්ද්‍රමුඛසිව (ක්‍රි:ව 44-52) අවුරුදු 8 ක් හා මාස 7 ක් බලයේ සිටියා. තිසා වැවේ දී ඔහු මරා මල්ලී යසලාලාක තිස්ස (ක්‍රි:ව 52-59) රජවී වසර 7 යි මාස 8 ක් රාජ්‍ය පාලනය ගෙන ගියේය. සුභ (ක්‍රි:ව 59-65) නැමති දොරටු පාලයා රජු මරා වසර 6 ක් රජකම් කළා.

සුභ නැමති දොරටුපාලයා මරා දැමූ වසභ (ක්‍රි:ව 65-109) අනුරාධපුරයේ ප්‍රාකාරයක් හා දිය අගලක් තැනවූ බව දීපවංසයේ සඳහන් වේ. ඔහු වසර 44 ක් රජ කළා. වසභ ගෙන් පසු රාජ්‍යත්වයට පත් වූයේ ඔහුගේ පුතා වූ වංකනාසික තිස්සය . (ක්‍රි:ව 109-112) තුන් වසරක් ඔහු රට පාලනය කළේය. ඔහුගේ ඇවෑමෙන් පුතා වූ ගජබාහු (ක්‍රි:ව 112-134) රජවී 22 වසරක් රාජ්‍යය කළේය. ගජබාහුගේ රාජ්‍ය කාලයේ ඔහු විසින් සිදුකළ ඉන්දියානු ආක්‍රමණයක් ගැන පූජාවලියේ හා රාජාවලියේ සඳහන් වේ. ගජබාහු එම ආක්‍රමණය දියත් කළේ සිය පියාගේ කාලයේ සොළීන් ලක්දිවට පැමිණ මිනිසුන් අල්ලාගෙන යාමකට පළි ගැනීමක් ලෙසිනි. මහාවංසයේ මෙම පුවත සඳහන් නොවේ. ගජබාහුට පසුව ඔහුගේ බිසවගේ මහලු පියා මහල්ලකනාග (ක්‍රි:ව 134-140) නමින් රජ විය. මහල්ලකනාග වසර 6 ක් පාලනය ගෙන ගියේය. ඔහුට පසුව මහල්ලකනාගගේ පුතා වූ භාතික තිස්ස (ක්‍රි:ව 140-164) රජවී 24 වසරක් පාලනය ගෙන ගියේය. ඔහු ඇවෑමෙන් ඔහු මල් කණිට්ඨ තිස්ස (ක්‍රි:ව 164-192) 28 වසරක් රට පාලනය කළේය. කණිට්ඨ තිස්සගේ පුත් ඛුජ්ජනාග (ක්‍රි:ව 192-194) පියා ඇවෑමෙන් දෙවසරක් රාජ්‍ය විචාලේය. ඛුජ්ජනාග මරාදැමූ සොහොයුරු කුඤ්චනාග (ක්‍රි:ව 194-195) වසරක් රජ කළා. බිසව ගේ සොහොයුරු සිරිනාග (ක්‍රි:ව 195-214) කුමරු කුඤ්චනාග මරා රාජ්‍යත්වයට පත්වී 21 වසරක් පාලනය ගෙන ගියා. ඔහු මිය ගිය පසුව පුතෙකු වූ තිස්ස රජ වුණා. නීතිය පිළිබඳව විශාරදයෙකු වූ නිසා වෝහාරික තිස්ස (ක්‍රි:ව 214-236) නම් විය. ඔහුගේ පාලන කාලය වසර 22 කි. ඔහු ඝාතනය කළ මල්ලී අභයනාග (ක්‍රි:ව 236-244) 8 වසරක් රට පාලනය කළ අතර ඔහු මියයාමෙන් පසු වෝහාරික තිස්සගේ පුතා වූ සිරිනාග දෙවන සිරිනාග (ක්‍රි:ව 244-246) නමින් වසර දෙකකුත්, ඔහුගේ පුත් විජය (ක්‍රි:ව 246-247) වසරකුත් රට පාලනය කළා. මහාවංසයේ එන ආකාරයට මෙකළ රුහුණේ සිට පැමිණි කුමාරවරුන් තිදෙනෙකු විජය රජුගේ රාජ සභාවේ එකට වාසය කර පසුව විජය රජු මරා ජ්‍යෙෂ්ඨත්වය අනුව රජවී ඇත. දීපවංසයේ සඳහන් වන ආකාරයට සිරිනාග රාජ්‍ය සමයේදී පවා මොවුන් රජුට සේවය කර තිබේ.

විජය මැරීමෙන් පසු මුලින්ම රජවුණේ සංඝතිස්ස. (ක්‍රි:ව 247-251) ඔහුගේ හැසිරීමෙන් පීඩාවට පත් වූ මිනිසුන් පිරිසක් වස යෙදූ ජම්බු දීමෙන් රජවී වසර 4 කින් රජු මිය ගියා. ඉන්පසුව සංඝබෝධි (ක්‍රි:ව 251-253) කුමරු රජවී වසර 2 කට පසුව ගෝඨාභය ඔහු මරා රාජ්‍යයට පත් වුනා. රජවීමෙන් පසුව ගෝඨාභය මේඝවර්ණාභය (ක්‍රි:ව 253-266) නමින් ප්‍රකට වූවේය. මහාවංසයේ සඳහන්වන ආකාරයට ගෝඨාභය මිය ගිය දිනයේ රාජ්‍යත්වයට උරුමකම් කිවූ ජෙට්ඨතිස්ස කුමරු වෙනුවට ඔහුගේ මල්ලී වූ මහසෙන් රජ කිරීමට යම් කුමන්ත්‍රණයක් සිදුවිය. එය දැඩිව මර්දනය කළ ජෙට්ඨතිස්ස (ක්‍රි:ව 266-276) කුමරු රජවී වසර 10 ක් සිය පාලනය ගෙන ගියේය.

ඔහුගේ ඇවෑමෙන් මහසෙන් (ක්‍රි:ව 276-303) රාජ්‍යත්වයට පත්වූවා. ඔහු 27 වසරක් පාලනය ගෙන ගියේය. මේ සමඟම දීපවංසයේ අවසානය ද සිදුවේ. මහාවිහාරය සම්බන්ධව රජුගේ ක්‍රියාකලාපය නිසා රජගේ ඇමතිවරයෙකු වූ මේඝවර්ණාභය මලය රටේ සිට කැරලි ගැසීමට සැරසුනත් මහසෙන් රජු හා ඇමතිවරයා අතර ඇති වූ සාකච්ඡාවකින් පසුව තත්ත්වය සංසිදුණි. ඔහුගේ පුත්‍රයා වූ කිත්සිරිමෙවන් (ක්‍රි:ව 303-331) එයින් පසුව රජවී වසර 9 ක් පාලනය ගෙන ගියේය. කිත්සිරිමෙවන්ගේ මල්ලී වූ දෙටුතිස් දෙවන ජෙට්ඨතිස්ස (ක්‍රි:ව 331-340) ලෙස ඔහුට පසුව රජ විය. දෙටුතිස්ගේ පුත්‍රයා වූ බුද්ධදාස (ක්‍රි:ව 340-368) පියා ඇවෑමෙන් රජවී වසර 31 ක් පාලනය ගෙන ගියේය. බුද්ධදාසට පසුව ඔහුගේ පුතා වූ පළමුවන උපතිස්ස (ක්‍රි:ව 368-410) රජවී වසර 42 ක් පාලනය කළ අතර ඔහු මරාදැමූ සොහොයුරු මහානාම (ක්‍රි:ව 410-432) වසර 22 ක් රජ කළා. මහානාම ඇවෑමෙන් රජුගේ ද්‍රවිඩ බිසවකගේ පුතෙක් වූ සොත්තිසේන රජ වූ අතර එදිනම ඔහු මරා දැමූ අග බිසවගේ දියණිය වූ සංඝා කුමරිය තම ස්වාමියා වූ ඡත්තගාහකයාට (ක්‍රි:ව 432) රජකම හිමිකර දුණි. පූජාවලියේ ඇත්තේ සංඝා බිසව කොටගෙන ලමැනිතිස්ස නැමැත්තෙකු රජ වූ බවය. මහාවංසයේ ඇති ආකාරයට වසරක් රජකර ඡත්තගාහක මිය ගිය පසුව ඇමතියෙකුගේ සහයෙන් මිත්සෙන් (ක්‍රි:ව 432-433) නැමැත්තෙක් රාජ්‍යත්වයට පත්වූවා. මිත්සෙන් කාගේ කවුද යන්න වංසකතා තුළින් හෙළිනොවේ. පණ්ඩු (ක්‍රි:ව 433-438) නැමති ද්‍රවිඩ රජෙක් මොහු මරා මහවැලි ගගෙන් මෙතෙර පාලනය ගෙන ගියා. ඔහුගේ වසර 5 ක පාලන කාලයෙන් පසුව පුතුන් වූ පාරින්ද (ක්‍රි:ව 438-441) වසර 3 කුත් ඛුද්ද පාරින්ද (ක්‍රි:ව 441-456) වසර 16 කුත් බලයේ සිටියහ. ඒ කාලය වනවිට රුහුණේ සිටි ධාතුසේන හා මොහු අතර ගැටුම් ඇතිවූ බවයි මහාවංසය පවසන්නේ. කුඩා පාරින්දට පසු බලයට පත් තිරිතර (ක්‍රි:ව 456) මාස 2 කට පසුවත් දාඨිය (ක්‍රි:ව 456-459) අවුරුදු 3 කට පසුවත් ධාතුසේන විසින් මරා දැමුවා. ඉන් පසුව පීඨිය (ක්‍රි:ව 459) රජවී මාස 7 කින් මරාදැමූ ධාතුසේන අනුරාධපුරයේ රාජ්‍යත්වයට පත්වුණා.

ධාතුසේන (ක්‍රි:ව 459-477) රාජ්‍යත්වයට පත්වීමෙන් පසුව සේනාධිපතියා හා රජුගේ වෙනත් බිසවකගේ පුතෙක් වූ කාශ්‍යප එක්ව රජු මරා දැමූහ. ධාතුසේන 18 වසරක් රජකම් කළේය. ධාතුසේන මැරීමෙන් පසු අග මෙහෙසියගේ පුත් මුගලන් ඉන්දියාවට පලා ගියා. ඔහු මරා දැමීමට චර පුරුෂයන් මගින් කාශ්‍යප උත්සාහ කළ ද එය අසාර්ථක වූ බවයි මහාවංසය පවසන්නේ. කාශ්‍යප (ක්‍රි:ව 477-495) සීගිරිය පාලන මධ්‍යස්ථානය කර ගනිමින් 18 වසරක් රජ කළා. ඔහු මරුමුවට පත් කළ මුගලන් (ක්‍රි:ව 495-512) යළිත් අනුරාධපුරය පාලන මධස්ථානය බවට පත්කර 18 වසරක් පාලනය ගෙන ගියේය. රජ වීමෙන් පසු කාශයපට පක්ෂව සිටි ඇමතිවරුන් හා පුද්ගලයින් විශාල පිරිසක් මරා දැමූ බව මහාවංසය පවසයි. මුගලන් ඇවෑමෙන් ඔහු පුත් කුමාර ධාතුසේන (ක්‍රි:ව 512-520) වසර 9 ක් රට පාලනය කළේය. මෙම කුමරු කාලිදාස නැමති සිය මිතුරා මියගිය දිනයේ ඔහුගේ සොහොනට පැන දිවි නසා ගත්බව පූජාවලියේ හා රාජාවලියේ සඳහන් වේ. කුමාර ධාතුසේනට පසුව ඔහුගේ පුතා වූ කිත්තිසේන (ක්‍රි:ව 520-521) කුමරු රජ වූවා. ඔහු රජ කළේ මාස 9 ක පමණ කාලයකි. කිත්තිසේන මරාදැමූ මාමා කෙනෙකු වූ සිව (ක්‍රි:ව 521) රජවී දින 25 කින් මොග්ගල්ලානගේ සේනාපතියා වූ උපතිස්ස (ක්‍රි:ව 521-522) විසින් ඔහු ඝාතනය කර රජවූවා. සිව වසර 25 ක් රජ කළ බවයි රාජාවලියේ ඇත්තේ. මේ අතර උපතිස්සගේ දියණිය විවාහ කරගත් ඔහුගේ සේනාධිපති සිලාකාල දක්ඛිණ දේශයට පැනගොස් කැරලි ගැසුවේය. එවිට රජු වෙනුවෙන් රජුගේ පුත් ගිරිකසුබ් සටන් වැදුනා. මහාවංසයේ සඳහන් වන ආකාරයට මේ වන විට උපතිස්ස මහලු හා අඳ පුද්ගලයෙකි. සිලාකාලට මුහුණ දීමට නොහැකිව ගිරිකසුබ් සිය පියා ද රැගෙන මලය දේශයට පලා යාමේ දී ඇතිවූ සටනකින් පිය පුතු දෙදනාම මරුමුවට පත්විය. උපතිස්ස රජ කළේ මාස 6 ක කාලයකි. සිලාකාල (ක්‍රි:ව 522-535) රජ්‍යත්වයට පත් වූ අතර ඔහුට පුතුන් තිදෙනෙකි. ඔවුන් මුගලන්, දාඨාපභූතිය, උපතිස්ස ලෙසිනි. සිලාකාල රජු එම කුමාරවරුන් පාලනයට හවුල් කරගත් අතර වැඩිමහල් කුමරුට නැගෙනහිර රට ඈපා තනතුරත්, මධ්‍යම කුමරුට මලය හා දකුණු රටත්, මුහුදත් පවරා දුණි. බාලයා වූ උපතිස්ස අනුරාධපුරයේ සිට රාජ්‍ය පාලනයට සම්බන්ධ විය. 13 වසරක් රජ කර සිලාකාල මිය යාමෙන් පසුව දේශපාලනික අවුල්කාරී තත්ත්වයක් උද්ගතවිය. දෙවන පුතා වූ දාඨාපභූත (ක්‍රි:ව 535) කුමරු පියා මිය ගිය පසුව අනුරාධපුරයට පැමිණ රාජ්‍යය ලබා ගත්තේය. එයට විරුද්ධ වූ මල්ලී උපතිස්සත් වෙනත් පුද්ගලයනුත් ඔහු මරාදැමුවා. රාජ්‍යයට උරුමකම් කිවූ වැඩිමහල් කුමරා වූ මුගලන් තම සොහොයුරාට එරෙහිව යුද්ධයකට පැමිණියේය. මහාවංසයේ සඳහන්වන ආකාරය අනුව දෙදනා අතර ඇතිවූ ද්වන්ද සටනින් දාඨාපභූත පැරදී සියදිවි නසාගත් පසු මුගලන් සුළු මුගලන් (ක්‍රි:ව 535-555) හෙවත් දෙවන මුගලන් නමින් රජ වුනා. දාඨාපභූත මාස 6 ක් හා මුගලන් අවුරුදු 20 බැගින් රජ කළහ.

මුගලන්ගේ ඇවෑමෙන් ඔහුගේ බිසව රජුගේ නෑයින් මරවා පුතා වූ කිත්සිරිමෙවන් (ක්‍රි:ව 555-573) රාජ්‍යයේ අභිෂේක කර තමා විසින් පාලනය ගෙන ගියාය. මවගේ ආධිපත්‍යය යටතේ පාලනය ගෙනයාම නිසා රජුගේ බලය දුර්වල විය. කිත්සිරිමෙවන්ගේ දුර්වල පාලනයෙන් ප්‍රයෝජන ගත් සේනාපති මහානාග (ක්‍රි:ව 573-575) නැමැත්තෙක් රුහුණේ සිට පැමිණ රජු මරා වසර 3 ක් පාලනය ගෙන ගියේය. ඔහු ඇවෑමෙන් මහානාගගේ මාමාගේ පුතෙකු වූ අග්බෝ කුමරු (ක්‍රි:ව 575-608) රජ විය. පූජාවලියේ සඳහන් ආකාරයට මහානාග මරාදමා සිගනා සල දළ නාවෝ නැමැත්තෙක් රාජ්‍යයට පත්වී ඇත. අක්බෝ කුමරු රජවී ඇත්තේ ඔහු මැරීමෙනි. ඔහු සිය මාමා උප රජ තනතුරට ද, සොහොයුරා යුව රජ තනතුරට ද, බෑනා මලය රාජ තනතුරටත් පත්කර වසර 34 ක පාලනයක් ගෙන ගිය බව මහාවංසයේ සඳහන් වේ. ඒ රජුගේ මරණයෙන් පසු ඔහුගේ මහ ඈපා කුඩා අක්බෝ (ක්‍රි:ව 608-618) නොහොත් දෙවන අග්බෝ නමින් රාජ්‍යත්වයට පත් විය. මේ කාලයේ කළිගු රට රජුත්, බිසවත්, ඇමතියෙකුත් පැමිණ ලක්දිව මහණ වූ බව මහාවංසය පවසයි. කුඩා අක්බෝ රජු ඔවුන්ට කළයුතු සත්කාර දැක්වීය. කුඩා අක්බෝ රජුගේ දස වසරක පාලනය නිම වූ පසුව මෙහෙසියගේ නෑ කෙනෙකු වූ අසිග්ගාහක සංඝතිස්ස කුමරු (ක්‍රි:ව 618) දෙවන සංඝතිස්ස ලෙස රජ වුනි. එය ඇසූ සුළු මුගලන් රජුගේ සෙන්පතියෙකු වූ මුගලන් රුහුණේ සිට අනුරපුර කිරුල ගැනීමට යුධ ප්‍රකාශ කළේය. මෙය අනුරාධපුරයේ දේශපාලන තත්ත්වය අවුල් වියවුල්කාරී කාල පරිචිඡේදයකට ඇද දැමීමට හේතු විය. රජුගේ සෙනෙවියාගේ පාවා දීම නිසා සංඝතිස්සත් ඔහුගේ පුතාත් මරා දැමූ මුගලන් තුන් වන මොග්ගල්ලාන (ක්‍රි:ව 618-623) නම්න් රජවී වසර 6 ක් රට පාලනය කළේය. මුගලන් තමාට උදව් කළ සංඝතිස්සගේ සෙනෙවියාට මලය රාජ තනතුරත් ඔහුගේ පුතාට අසිග්ගාහක තනතුරත් ලබා දුණි. පසුව දෙදනා අතර ඇති වූ සැකයක් මුගලන් මලය රජු මරා දැමුවේය. අසිග්ගාහකයා රුහුණට පලා ගියේය. ඉන් පසුව මලය රටේ සැඟව සිටි සංඝතිස්සගේ පුතෙකු වූ ජෙට්ඨතිස්ස කුමාරයා ද සමඟ එක්ව සටන් කර මුගලන් මරා දැමූ අතර ජෙට්ඨතිස්ස කුමාරයා ද මැරීමට අසිග්ගාහකයා තැත් කළත් ඔහු යළිත් මලය රටටම පලා ගියා. අසිග්ගාහකයා සිලාමේඝවර්ණ (ක්‍රි:ව 623-632) නමින් වසර 9 ක් රාජ්‍යය විචාළේය. ජෙට්ඨතිස්ස කුමාරයාගේ මාමා කෙනෙකු වූ සිරිනාග ඉන්දියාවෙන් සේනා රැගෙන පැමිණ ලංකාවේ උතුර ඇල්ලීමට උත්සාහ ගත් නමුත් රජු එය මැඩපැවැත් වූවා. සිලාමේඝවර්ණගේ පුත් අක්බෝ කුමරු තුන්වන අග්බෝ (ක්‍රි:ව 632) නමින් රජ වූ අතර සිය සොහොයුරා වන මානා කුමරු උපරජ කොට දකුණට පිටත් කළා. මේ අතර ජෙට්ඨතිස්ස අවස්ථාවක් බලා අනුරාධපුරය ආක්‍රමණය කළ අතර ඒ වනවිට මාස 6 ක පමණ කාලයක් සිහසුන දැරූ අක්බෝ සටනින් පැරදී ඉන්දියාවට පැන ගියේය. ඒ සමඟ ජෙට්ඨතිස්ස තුන්වන ජෙට්ඨතිස්ස (ක්‍රි:ව 632) නමින් රජ වුණා. මේ අතර අක්බෝ රජුගේ නෑයින් රට පුරා කැරලි ගැසූහ. ඉන්දියාවේ සිට සේනා රැගෙන ආ අක්බෝ ජෙට්ඨතිස්ස හා සටන් වැදුනු අතර ජෙට්ඨතිස්ස පැරදී දිවිනසා ගත් බව මහාවංසය පවසයි. ඔහු රජකර තිබුනේ මාස 5 ක පමණ කාලයකි. නැවතත් අක්බෝ (ක්‍රි:ව 633-643) රජ විය. උප රාජ ලෙස කටයුතු කළ මානා කුමරු අන්තඃපුරයේ කළ අපරාධයක් නිසා ඇමතිවරුන් ඔහු මරා දැමූහ. හිස්වුනු උප රජ තනතුරට මල්ලී කසුබ් කුමරු පත් විය. මේ අතර ජෙට්ඨතිස්ස රජු වෙනුවෙන් ආධාරක සේනා රැගෙන ඒමට ඉන්දියාවට ගොස් සිටි දාඨාසිව නැමති ඇමතිවරයා මෙකළ රටේ ගැටුම්කාරී තත්ත්වය අසා සේනා ගෙන පැමිණ අක්බෝ හා ගැටුණි. පැරදුණු අක්බෝ රජු ඉන්දියාවට පලා ගියේය. දාඨාසිව දාඨෝපතිස්ස (ක්‍රි:ව 643-650) නමින් රජ වුනා. අක්බෝ යළිත් ලංකාවට පැමිණ රාජ්‍යත්වය සඳහා යුද්ධ ප්‍රකාශ කළේය. දෙදනාම වරින්වර ජය ගනිමින් සටන දිගු කාලයක් පැවතියා. තීරණාත්මක සටනකින් දාඨෝපතිස්ස ජයගනු ලැබීය. නැවත හමුදා සංවිධානය කර පැමිණෙන අරමුණින් අක්බෝ රුහුණට පැන ගිය අතර ඔහු එහි සිටිය දී සිය 12 වන රාජ වර්ෂයේ මිය ගියේය. ඔහුගේ යුව රජ වූ සොහොයුරු කාශ්‍යප දාඨෝපතිස්ස ඉන්දියාවට පලවාහැර දෙවන කාශ්‍යප (ක්‍රි:ව 650-659) නමින් අනුරපුර සිංහාසනයට පත් විය. නමුත් ඔහු ඔටුනු නොපැලදූ බවයි මහාවංසයේ සඳහන් වන්නේ. දාඨෝපතිස්ස යළිත් ඉන්දියාවේ සිට සේනා රැගෙන ආවත් මෙවර ඔහු මරා දැමීමට කාශ්‍යපට හැකිවිය. මුලින් රජවී වසර 12 කට පසුවයි ඔහුගේ මරණය සිදුවූයේ.

දාඨෝපතිස්ස හා කළ අවසන් සටනින් පසුව කාශ්‍යප රෝගී වුනා. තම දරුවන් ළදරු වූ නිසා බෑනා කෙනෙකු වූ මානා කුමරු රුහුණේ සිට අනුරාධපුරයට ගෙන්වා ගෙන පාලන කටයුතු හා දරුවන්ගේ භාරකාරීත්වය ඔහුට පැවරුවේය. රජවී 9 වන වසරේදී මෙතුමා මිය ගියේය. මේ කාලය වන විට පෙර සටන් පැවති කාලයේ දී ලංකාවට පැමිණ තිබූ ද්‍රවිඩ හේවායින් කැරලිගසා මානා කුමරු අනුරාධපුරයෙන් බැහැර ගිය අවස්ථාවක අනුරාධපුරයේ බලය ඇල්ලූහ. මානා රුහුණේ පාලක තම පියා වූ දප්පුලගේ ආධාරයෙන් අනුරාධපුරය ඔවුන්ගෙන් මුදා ගෙන තම පියා දප්පුල (ක්‍රි:ව 659) නමින් රාජ්‍යත්වයට පත් කළේය. දාඨෝපතිස්සගේ බෑනා කෙනෙක් වූ හත්ථදාඨ කුමරාට ලංකාවට එන ලෙස කැරලිකරුවන් හසුන් යැවූහ. ලංකාව ආක්‍රමණය කළ හත්ථදාඨ හා ගැටීමට නොහැකි වූ දප්පුල රජවී දින 7 කින් නැවත රුහුණට ගියේය. රුහුණට ගිය දප්පුල වසර 3 ක් හා මාස 3 ක් ජීවත් වූ බවයි පූජාවලියේ සඳහන් වෙන්නේ. නමුත් රාජාවලියේ ඇත්තේ දප්පුල රුහුණේ වසර 10 ක් සිටි බවය. සටනකින් තොරවම අනුරාධපුරය අල්ලාගත් හත්ථදාඨ දෙවන දාඨෝපතිස්ස (ක්‍රි:ව 659-667) නමින් රජ වුණා. දාඨෝපතිස්ස පැන්නීමට මාන කුමරු උත්සාහ ගත්තත් අවසානයේ ඔහු මරුමුවට පත් වුණා. දාඨෝපතිස්ස වසර 9 ක් රජ කළේය. මහාවංසයේ 43 වන පරිච්ඡේදයේ 37 වන ගාථාවේ සිට (201 පිටුව) රුහුණේ මානාගේ පරපුර නිවැරදිව දක්වා ඇත. දාඨෝපතිස්ස ඇවෑමෙන් ඔහුගේ බාල සොහොයුරු අග්බෝ සිවුවන අග්බෝ (ක්‍රි:ව 667-683) නමින් රජ වුණා. මොහුගේ පාලන කාලයේ සිටි ද්‍රවිඩ ප්‍රධානීන් ගැන අවස්ථා කිහිපයකදීම මහාවංසයේ සඳහන් වේ. අග්බෝ රජු සිය අවසාන කාලයේ පොළොන්නරුව පාලන මධ්‍යස්ථානය බවට පත්කර ගත්තේය. පොළොන්නරුව රජුගේ පාලන මධ්‍යස්ථානය වූ මුල්ම අවස්ථාව මෙයයි. වසර 12 ක් රජ කළ මෙතුමා අසාධ්‍ය රෝගයකින් මරණයට පත් වුණා. රජුගේ මරණින් පසුව පොත්ථකුට්ඨ නැමති ඇමතිවරයෙක් උප රජ දාඨාසිව සිරගත කර රාජ වංශයේ උපන් දන්ත (ක්‍රි:ව 683-684) නැමති පුරුෂයෙකු ගෙන්වා ඔහු අතකොලුවක් කර පාලනය ගෙන ගියේය. මහාවංසයේ 44 වන පරිච්ඡේදයේ 25 වන ගාථාවේ අග්බෝ රජුගේ උප රජ ලෙස සංඝතිස්ස නැමැත්තෙකුත් 39 වන ගාථාවේ දාඨාසිව නැමැත්තෙකුත් දක්වා ඇත. මොවුන් දෙදනා එක් අයෙක් ද නැද්ද යන්න පැහැදිලි නැත. දන්ත වසර 2 කින් මිය ගිය පසුව හත්ථදාඨ (ක්‍රි:ව 684) නැමති කුමරෙකු අභිෂේක කර පෙර ලෙසම පොත්ථකුට්ඨ පාලනය ගෙන ගියා. හත්ථදාඨ ද මාස 4 කින් මිය ගියේය. හත්ථදාඨ මිය ගිය ආකාරය මහාවංසයේ සඳහන් නොවේ. පූජාවලිය පවසන ආකාරයට හත්ථදාඨව ඔහුට පසුව රජ වූ මානවම්ම කුමරු විසින් මරා දැමුවේය.

මානවම්ම කුමරු අනුරාධපුරයේ රජ කළ දෙවන කාශ්‍යප රජුගේ පුතෙකු ලෙයසි මහාවංසය අනුව පෙනී යන්නේ. ඔහු මලය රජුගේ දියණිය වූ සංඝා කුමරිය හා විවාහවී උත්තර ප්‍රදේශයේ සැඟව සිට නරසීහ නැමති පල්ලව රජුගේ හමුදාවට එක්ව රජුගේ සිත දිනා ගත්තේය. පසුව පල්ලව රජුගේ උපකාරයෙන් දෙවන දාඨෝපතිස්ස වකවානුවේ ලංකාව ආක්‍රමණය කළේය. දාඨෝපතිස්ස මරා දැමීමට ඔහුට නොහැකි වූ අතර පල්ලව රාජ්‍යයේ ඇත්වූ තත්ත්වයක් නිසා මානවම්මට යළි ඉන්දියාවට යාමට සිදු විය. දෙවනවරට හත්ථදාඨ රජුගේ කාලයේ ලංකාව ආක්‍රමණය කළ මානවම්ම හත්ථදාඨව මරා දැමුවේය. පොත්ථකූඨ ඇමති දිවිනසා ගත්තේය. එයින් පසුව මානවම්ම (ක්‍රි:ව 684-718) රාජ්‍යත්වයට පත් වූවේය. පූජාවලියට අනුව මානවම්ම වසර 35 ක් රජකර තිබේ. මානවම්ම විස්තරයේ අවසානයත් සමඟ මහාවංසයේ පරිච්ඡේදයන්හී අවුල් සහගත බවක් දක්නට ලැබේ. ඔහු ඇවෑමෙන් ඔහුගේ පුතා වූ අග්බෝ කුමරු පස්වන අග්බෝ (ක්‍රි:ව 718-724) නමින් රජ විය. ඔහු වසර 6 ක් පාලනය ගෙන ගියේය. අග්බෝ ඇවෑමෙන් සොහොයුරු කාශ්‍යප තුන්වන කාශ්‍යප (ක්‍රි:ව 724-730) නමින් රජ විය. පූජාවලිය පවසන්නේ ඔහු වසර 7 ක් පාලනය ගෙන ගිය බවය. ඔහුට පසුව මල්ලී මහින්ද ආධිපාද (ක්‍රි:ව 730-733) තනතුරේ සිටිමින්ම වසර 3 ක් රට පාලනය කළේය. ඔහු අභිෂේකයට පත්වූයේ නැත. සොහොයුරු කාශ්‍යපගේ පුත්‍ර අග්බෝ උපරාජ කළේය. ඔහු මහින්ද රජුට පසුව හයවන අග්බෝ (ක්‍රි:ව 733-772) ලෙසින් රජ්‍යත්වයට පත්ව වසර 40 ක් ජීවත් විය. ඔහු මහින්ද රජුගේ පුත් අග්බෝට උපරජ කළේය. මොවුන් දෙදනා අතර යම් ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවුවද පසුව යළි සමගියක් ඇතිවිය. රජුගේ දියණිය ඔහුට විවාහ කර දුන්නේය. එම කුමරිය හා සම්බන්ධ සිදුවීමක් හේතුවෙන් කුමරියගේ මාමා කෙනෙකුගේ පුතෙක් හා රුහුණේ දී රජු හා උපරජු එක්ව සටන් කළහ. එයින් රජුගේ පාර්ශවය ජයගත්තේය. රජුට පසුව උපරජ අග්බෝ හත්වන අග්බෝ (ක්‍රි:ව 772-777) නමින් රාජ්‍යත්වයට පත්විය. ඔහු වසර 6 ක් පාලනය ගෙනගිය අතර පොලොන්නරුවේ දී මියගියා. මේ අවස්ථාවේ දී රාජ්‍යයට නිසි හිමිකරුවෙකු නොසිටීම හේතුවෙන් අවුල් සහගත බවක් උද්ගත වුණා. හයවන අග්බෝ රජුගේ සේනාපතිව සිටි මහින්ද නැමැත්තා රජුගේ මරණය අසා අනුරපුරට පැමිණ රජුගේ බිසව රාජ්‍යට පත්කර රටේ ආරක්ෂාව තමා වෙත පවරා ගත් අතර රජුගේ මරණයත් සමඟ ස්වාධීනත්වය ප්‍රකාශ කළ උත්තර ප්‍රදේශයන්හී බලය ද යළි අල්ලා ගත්තේය. වැන්දඹු බිසව මේ අතර මහින්ද සේනාපතිව මැරීමට උත්සාහ ගත්තේය. එය ව්‍යයර්ථ කළ මහින්ද සේනාපති ඇය සිරගත කර දෙවන මහින්ද (ක්‍රි:ව 777-797) නමින් රාජ්‍යත්වයට පත් විය. මේ අතර හයවන අග්බෝගේ බෑනා කෙනෙකු වූ දප්පුල ආදිපාද රජු හා කීපවතාවක්ම ගැටුම් ඇතිකර ගත් අතර පසුව දෙදනා අතර එකඟතාවයක් ඇතිවූවා. උතුරු ප්‍රදේශයත් කීපවතාවක්ම ස්වාධීන වුවත් රජු ඔවුන්ව ද මැඩපැවැත්වීය. මහ බිසව පිළිබඳ ඇතිවූ ගැටලුව හේතුවෙන් ඇය තමාගේ අග බිසව කර ගත්තේය. දෙවන මහින්ද රජු වසර 20 ක් රාජ්‍ය පාලනය ගෙන ගියේය.

දෙවන මහින්දට පසුව ඔහුගේ පුතෙකු වූ උදය (ක්‍රි:ව 797-801) රජවූවා. රජු මින්නේරියේ සිටියදී අසල ප්‍රදේශයක කැරැල්ලක් ඇති වූවා. රජතුමා එය මර්ධනය කිරීමට සිය පුතා සහ සෙනෙවියා පිටත් කළත් ඔවුන්ද කැරලි කරුවන්ට එක් විය. එය ඇසූ රජු ක්ෂණිකව කැරලිකරුවන් හා ඔවුන්ට පක්ෂපාතී අය මරාදමා පොළොන්නරුවට ගොස් සිය බලය තහවුරු කර ගත්තේය. මෙතුමා වසර 5 ක් පාලනය ගෙන ගියේය. ඔහු ඇවෑමෙන් පුත්‍රයෙකු වූ මිහිඳු තුන්වන මහින්ද (ක්‍රි:ව 801-804) නමින් රජ වූවා. ඔහුට පසුව සොහොයුරු අග්බෝ අටවන අග්බෝ (ක්‍රි:ව 804-815) නමින් රජවී 11 වසරක් රාජ්‍ය පාලනය ගෙන ගියේය. අටවන අග්බෝට පසුව මලණුවන් වූ දප්පුල දෙවන දප්පුල (ක්‍රි:ව 815-831) ලෙස අනුරාධපුරයේ රජවී වසර 16 ක් පාලනය ගෙන ගියේය. මෙකළ යම් අභ්‍යන්තරික දේශපාලන අර්බුද ඇති විය. ඉන් පසුව රජ වූවේ අග්‍රබෝධි නැමැත්තෙකි. ඒ නමවන අග්බෝ (ක්‍රි:ව 831-833) ලෙසිනි. ඔහු දප්පුලගේ පුතෙකු බවයි පූජාවලියේ හා රාජාවලියේ සඳහන්ව ඇත්තේ. ඔහුට තම සිංහාසනය රැක ගැනීමට ඉන්දියාවේ සිට ආ මහින්ද නැමැත්තෙක් සමඟ සටන් කිරීමට සිදුවිය. රජු එයින් ජය ගත් අතර මහින්ද යළි ඉන්දියාවට පැන ගියේය. අග්බෝ ඇවෑමෙන් සොහොයුරු සේන පළමුවන සේන (ක්‍රි:ව 833-853) ලෙස රාජ්‍යත්වයට පත්වූවේය. ඔහු ඉන්දියාවට පැන ගොස් සිටි මහින්ද චරපුරුෂයන් යොදවා මරා දැමුවේය. මෙකළ ලංකාවට පාණ්ඩ්‍ය ආක්‍රමණයක් එල්ල විය. මහාවංසයේ සඳහන්වන ආකාරයට ඇමතිවරුන්ගේ අසමගිය නිසා උතුරු ප්‍රදේශය සතුරාට යටත් වූවා. රජු තම සොහොයුරු මිහිඳු සටනට යැවූවද ඔහු පැරදී දිවි නසා ගත්තේය. රජුගේ තවත් සොහොයුරෙකු වූ කාශ්‍යප ඈපා ද සටනින් මිය ගියේය. සතුරන් අනුරාධපුරය අල්ලාගත් අතර රජු මලය දේශයට පැන ගියා. පාණ්ඩ්‍ය රජු සේන රජු සමඟ මිත්‍රත්වයකට කැමති යැයි දූතයින් එවීම නිසා දෙදනා අතර මිත්‍රත්වයක් ඇති වූවා. එහි ප්‍රතිඵලයක් ලෙස සේනට යළි රට බාර දී පාණ්ඩ්‍යයෝ ඉන්දියාවට පිටත් වූහ. මොහු රජවී 20 වන වසරේ දී පොලොන්නරුවේ දී මරුමුවට පත්විය. ඉන් පසුව රජුගේ සොහොයුරාගේ පුතෙකු වූ සේන දෙවන සේන (ක්‍රි:ව 853-887) ලෙස රජවූවේය. මෙකළ පාණ්ඩ්‍ය කුමරෙක් තම පිය රජුට එරෙහිව යුධ ආධාර ඉල්ලා ලංකාවට පැමිණිය්ය. ඔහුට අවශ්‍ය හමුදා සහය ලබා දුන් රජතුමා උපකාර ඉල්ලා ආ කුමරු රාජ්‍යත්වයට පත්කර පෙර ලක්දිවෙන් ගෙනගිය දේපළ නැවත ලංකාවට ගෙන්වා ගත්තේය. මෙවැනි විදේශ ආක්‍රමණයක් ලංකා දේශපාලන ඉතිහාසයේ සිදුවූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙතුමා වසර 35 ක් රට පාලනය කළේය. දෙවන සේනට පසුව සොහොයුරු උදය දෙවන උදය (ක්‍රි:ව 887-898) නමින් රාජ්‍යත්වයට පත්විය. මෙකළ දෙවන සේන රජුගේ සහෝදර මහින්දගේ පුතෙකු වූ කිත්තග්ගබෝධි නැමති කුමරා රුහුණේ පාලකයා මරා රුහුණ අල්ලා ගත්තේය. රජු ඔහු අල්ලා ගන්නට තම සොහොයුරු දෙවන සේනගේ පුතෙක් වූ කාශ්‍යප කුමරු කැදවා ඔහුගේ පුත්‍රයා වූ මහින්ද රුහුණට පිටත් තළේය. ඔහු කිත්තග්ගබෝධි අල්ලා අනුරාධපුරයට එවා රුහුණ පාලනය කරන්නට විය. දෙවන උදය රජු වසර 11 ක් සිය පාලනය ගෙන ගියේය. ඔහු ඇවෑමෙන් බාල සොහොයුරු කාශ්‍යප හතරවන කාශ්‍යප (ක්‍රි:ව 898-914) ලෙස රාජ්‍යත්වයට පත් වූවේය. ඔහු සොහොයුරු සේනගේ පුත් කාශ්‍යප යුවරජ ධූරයට පත්කළේය. රුහුණේ සිටි මහින්ද කැරැල්ලක් ඇති කළ නමුත් ඔහුගේ පියා වූ යුවරජුගේත් භික්ෂූණ්වහන්සේලාගේත් මැදිහත් වීමෙන් තත්ත්වය සංසිඳුණි. මෙම රජු වසර 17 ක් සිය පාලනය ගෙනගිය බව මහාවංසයේ සඳහන් වේ.

දෙවන උදය රජුගේ පුතා වූ කාශ්‍යප ඉන් පසුව පස්වන කාශ්‍යප (ක්‍රි:ව 914-923) නමින් රාජ්‍යත්වයට පත් වූවේය. මෙකළ පාණ්ඩ්‍ය රජු චෝලයන්ට එරෙහිව ආධාර ඉල්ලා ලංකාවට පණිවිඩ එවුවේය. සක්කසෙනෙවියා යටතේ ඉන්දියාවට හමුදාවක් යැවූවද එහිදී බෝවූ රෝගයකින් සේනාධිපතියා ඇතුලු සෙබල පිරිස් මිය යන්නට වූ නිසා නැවත හමුදාව ලංකාවට කැදවීමට සිදුවිය. ඔහු රජ කළේ වසර 10 කි. පස්වන කාශ්‍යප ඇවෑමෙන් ඔහුගේ යුවරජ දප්පුල තුන්වන දප්පුල (ක්‍රි:ව 923-924) නමින් රජවී මාස 7 ක් පාලනය ගෙන ගියේය. ඔහුට පසුව මල්ලී දප්පුල සිවුවන දප්පුල (ක්‍රි:ව 924-935) ලෙස රජ බවට පත්වී වසර 12 ක් පාලනය ගෙන ගියේය. මේ කාලයේ පාණ්ඩ්‍ය රජු සොළීන්ට එරෙහිව ආධාර පතා ලංකාවට පැන ආවේය. ඔහුට ආධාර දීමට රජු කැමති වුවත් එවකට ලක්දිව තිබූ යම් දරුණු යුද්ධයක් නිසා එය කළ නොහැකි වූ බවයි මහාවංසයේ සඳහන් වන්නේ. මෙම දරුණු යුද්ධය අභ්‍යන්තර කැරැල්ලක් විය හැකිය. මෙ නිසා පාණ්ඩ්‍ය රජු සිය රාජ කකුධ භාණ්ඩ ලක්දිව තබා යළි ඉන්දියාවට ගියේය. මේ සිදුවීම වසර ගනනාවක් යන තුරුම ලංකාවේ දේශපාලනික අර්බුද ඇතිවීමට බලපෑවේය. පූජාවලියේ හා රජාවලියේ මෙම රජු සොළී රටින් ආ ද්‍රවිඩයන් පැන්නූ බවක්ද සඳහන් වේ. සිවුවන දප්පුල රජුගේ ඇවෑමෙන් ඔහුගේ යුවරජ උදය තුන්වන උදය (ක්‍රි:ව 935-938) නමින් වසර 3 ක් රාජ්‍යය විචාළේය. පූජාවලියේ උදය රජු වසර 8 ක් රජ කළ බව කියවේ. මෙකළ දේශපාලනික අවුලක් රටේ උද්ගත වුණා. එයට හේතුව වූයේ ඇමතිවරුන් පිරිසක් රාජ උදහසකින් ගැලවීමට තපෝවනයක සැඟවුණු විට රජු ඔවුන්ව එහිදීම මරා දැමීමය. මෙයින් කලකිරීමට පත්වුනු තපෝවනයේ භික්ෂූණ්වහන්සේලා රුහුණට ගියහ. කෝපයට පත්වුනු ගම් හා නගර වැසියනුත් හමුදාවත් කැරලි ගැසීම නිසා රජුට ආරක්ෂාව පතා අභයගිරියේ රත්නප්‍රසාදයේ සැඟවීමට සිදුවිය. ඉහත ක්‍රියාව කිරීමට රජුට උපකාර කළ ඇමතිවරුන් කැරලිකරුවන් අතින් මියගියා. උපරජු හා ආධිපාදවරයෙක් රුහුණට පැන ගියහ. පසුව භික්ෂූණ්වහන්සේලාගෙන් රජු හා යුවරජු සමාව ගෙන නැවත අනුරාධපුරයට කැදවාගෙන ඒමත් සමඟ තත්ත්වය සංසිඳුණි. උදය රජු ඇවෑමෙන් ඔහුගේ යුවරජ සේන තුන්වන සේන (ක්‍රි:ව 938-946) නමින් රාජ්‍යත්වයට පත් වූවේය. තුන්වන සේනට පසුව ඔහුගේ යුවරාජ උදය සිවුවන උදය (ක්‍රි:ව 946-954) ලෙස රාජ්‍යත්වයට පත් වූවේය. මේ වකවානුවේ සොළීන් පාණ්ඩ්‍ය රාජ කකුධ භාණ්ඩ ලබා ගැනීමට ලක්දිව ආක්‍රමණය කළේය. ඒ අවස්ථාවේ රජුගේ සෙනෙවියා අසල ප්‍රදේශයක කලහයක් මර්ධනයට ගොස් සිටි අතර රජු ඔහු කැදවා සොළීන් හා සටනට යැවුවත් එයින් සෙනෙවියා මිය ගියේය. රජු රුහුණට පැනගිය අතර සොළීන් යළි ඉන්දියාවට ගිය බවයි මහාවංසයේ සඳහන් වෙන්නේ. පසුව රජු විදුරඟ නැමැත්තා සෙනෙවි තනතුරට පත්කර සොළී දේශය ආක්‍රමණය කර ලක්දිවෙන් ගෙන ගිය සම්පත් යළි මෙරටට ගෙන ආවේය. උදය රජු වසර 8 ක් රජකම් කළේය. උදය රජුට පසුව ඔහුගේ යුවරාජ සේන සිවුවන සේන (ක්‍රි:ව 954-956) නමින් රජවී වසර 3 ක් රට පාලනය කළේය. ඔහු ඇවෑමෙන් යුවරාජ මිහිඳු සිවුවන මහින්ද (ක්‍රි:ව 956-972) යනුවෙන් රාජ්‍යත්වයට පත් වූවේය. මෙහු සොර සතුරන් නසා රට එක්සත් කළ යැයි මහාවංසයේ සඳහන් වේ. ඒ අනුව මෙකළ රටේ යම් ගැටුම්කාරී බවක් තිබුණා විය හැකිය. වල්ලභ නැමති ද්‍රවිඩ රාජෙක් නාගදීපයට බලසෙන් එවීමක් ද සිදුවී ඇති අතර ඔහුව පරාජය කිරීමට මහින්ද රජුට හැකිවිය. මෙතුමා 16 වසරක් රාජ්‍යය පාලනය කළේය. මහින්ද රජුගේ ඇවෑමෙන් ඔහුගේ කාලිංග බිසවගේ පුත් සේන පස්වන සේන (ක්‍රි:ව 972-982) නමින් 12 වන වියේදී රාජ්‍යත්වයට පත්වූවේය. ඔහු සිවුවන මහින්ද රජු සමයේ සිටි සේන සේනාධිපතියා අසල ගමක කැරැල්ලක් මර්ධනයට ගිය අවස්ථාවක තනතුරෙන් පහකර වෙනත් කෙනෙකු සේනාධිපති බවට පත් කළේය. මෙයින් කෝපයටපත් සේන සෙනෙවියා රජු හා සටනට ආවත් රජු රුහුණට පැන ගියේය. රජුගේ මවත් සෙනෙවියාට පක්ෂපාත වූවේය. සේන අනුරාධපුරය ද්‍රවිඩ කුලී හේවායින්ට භාර දී පොලොන්නරුවට ගියේය. රජතුමා යළි අනුරාධපුරය ගන්නට තැත් කළත් එය අසාර්ථක විය. මෙයින් පසුව ඇමතිවරු සාකච්ඡාකර රජු හා සෙනෙවියා යළි එක් කළහ. පසුව රජතුමා සුරා පානය කරමින් පොළොන්නරුවට ගොස් වසර 10 ක කාලයක් පාලනය ගෙන ගියේය.

පස්වන සේන රජුගේ ඇවෑමෙන් ඔහුගේ සොහොයුරු මිහිඳු පස්වන මිහිඳු (ක්‍රි:ව 982-1029) නමින් රාජ්‍යත්වය පත් වූවේය. ඔහු නා නා දේශයෙන් ආ ජනයාගෙන් ව්‍යාකූල වූ නුවර දස වසරක් දුකසේ වාසය කළා යැයි මහාවංසයේ සඳහන් වේ. මොහුගේ දුර්වල පාලනය හේතුවෙන් මිනිසුන් අය බදු නොගෙවූ අතර කුලී හේවායින්ට පඩි ගෙවීමට නොහැකි වීම නිසා ඔවුන් කැරලි ගැසූහ. රජු රුහුණට පැන ගියේය. කේරළ, සිංහල, කර්ණාටක හමුදා තමන්ට රිසි ආකාරයෙන් රටේ ප්‍රදේශවල අධිපතිකම් කළහ. මේ අතර සොළී රජු ලක්දිව ආක්‍රමණය කර මිහිඳු රජු අල්ලා ඉන්දියාවේ සිරගත කර පොළොන්නරුව අගනුවර ලෙසත් රක්පාන්කට සීමාව ලෙසත් ගෙන උතුරු ප්‍රදේශය පාලනය කළේය. මිහිඳු රජු සොළී අත්අඩංගුවේ සිටියදි රාජ්‍යත්වයෙන් 12 වන වසරේදී මිය ගියේය. නමුත් පූජාවලියේ හා රාජාවලියේ මිහිඳු රජු සොළී අත්අඩංගුවට පත්වූ බවක් සඳහන් නොවන අතර මෙතුමා වසර 48 ක් රට පාලනය කළ බවත් කියවේ. මේ සමඟ අනුරාධපුර යුගයේ බිඳ වැටීම සිදුවිය. මහාවංසයේ 55 වන පරිච්ඡේදයේ අග කොටසේ සිට අනුරාධපුර යුගයයෙන් පසු රටේ තත්ත්වය දැක්වේ.

මෙතැනින් පසුව පොළාන්නරු යුගයේ බිහිවීම සදහා පසුබිම සකස් විය................................

වංසකතාවලින් හෙළිවන අනුරාධපුර යුගයේ දේශපාලන ඉතිහාසය සංක්ෂිප්තව (1)

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පළමු වසරේ සිටියදී (2004)ඉතිහාසය පැවරුමකට සකස් කරපු ලිපියක් Bloge එකකට සුදුසු ආකාරයට සංස්කරණය කරලා දාන්න හිතුනා. මේ පැවරුමේ මාතෘකාව උනේ "වංසකතාවලින් හෙළිවන අනුරාධපුර යුගයේ දේශපාලන ඉතිහාසය සංක්ෂිප්තව" කියන එකයි...

මේ පැවරුමට ප්‍රධාන වංසකතා කිහිපයක් පමණයි පරිශීලනය කළේ. ඒ වගේම ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ සුවිශේෂී කාල පරිච්ඡේදයක් වූ අනුරාධපුර යුගය ගැන පමණකි මෙහිදී අවධානය යොමු වන්නේත්. අනුරාධපුර යුගය වශයෙන් සලකන්නේ ක්‍රි:පූ සිවුවන සියවසේ දී පණ්ඩුකාභය රජු ශ්‍රී ලංකාවේ උතුරු කොටසේ රාජ්‍යයක් පිහිටුවා ගෙන අනුරාධපුරය එහි අගනුවර වශයෙන් තෝරා ගත් දිනයේ සිට එම රාජ්‍යයේ අවසාන පාලකයා වුනු පස්වන මිහිදු රජු ක්‍රි:ව 1017 දී දකුණු ඉන්දියාවේ සොළී රජවරුන්ගේ සිර කරුවෙක් බවට පත් වූ දිනය දක්වා වූ අවුරුදු 1400 ක් පමණ දීර්ඝ කාල පරිච්ඡේදයයි.

මුලින්ම වංසකතා ගැන හැදින්වීමක් ඉදිරිපත් කරන්නට හිතුවා...

අනුරාධපුර යුගය ගැන තොරතුරු ලැබෙන මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. ඒ සාහිත්‍ය මූලාශ්‍ර හා පුරා විද්‍යා මූලාශ්‍ර වශයෙනි. ඓතිහාසික සිද්ධි වල කාලයත් එම සිදුවීම් විස්තර කරන සාහිත්‍ය මූලාශ්‍ර රචනා වූ කාලයත් අතර බොහෝවිට පරතරයක් තිබේ. නමුත් පුරා විද්‍යා මූලාශ්‍ර අදාල සිද්ධිය හා සමකාලීන නිසා එම මූලාශ්‍ර වඩා විශ්වසනීයත්වයකින් යුක්තය. සාහිත්‍ය මූලාශ්‍ර වලට වඩා පුරා විද්‍යා මූලාශ්‍ර වල විශ්වසනීයත්වය පෙන්වන තවත් සාධකයක් නම් සාහිත්‍ය මූලාශ්‍ර බොහෝ විට සුළු සිද්ධීන් වටා ගෙතුනු ප්‍රබන්ධ වීමත් පුරා විද්‍යා මූලාශ්‍ර බොහෝවිට යම් සිදුවීමක් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කරන වාර්තා වීමත්ය. මෙම සාහිත්‍ය මූලාශ්‍ර රචනා කිරීමේ දී එම ග්‍රන්ත කතෘවරුන්ගේ රචි අරුචිකම් හා ඔවුන් වාසය කළ වටපිටාව වැනි කරුණු එම ප්‍රබන්ධ වලට බලපා ඇත. එවැනි හේතු නිසා ඒවායේ අන්තර්ගත ඓතිහාසික බීජය වටා නොයෙක් කරුණු ගෙතී ඇති බව පැහැදිලි වේ. පුරා විද්‍යා මූලාශ්‍ර සම්බන්ධව මෙම දුර්වලතාවය දැකීමට අඩුය. කෙසේ වෙතත් සිංහලයාගේ ඉතිහාසය අඛණ්ඩව ගොඩනගා ගැනීමට උපයෝගීකර ගත හැක්කේ සාහිත්‍යමය මූලාශ්‍රය. සාහිත්‍ය මූලාශ්‍ර වල ඇති කරුණු වල සත්‍ය අසත්‍ය බව නිශ්චිතවම හදුනා ගැනීමේ දී පුරා විද්‍යා මූලාශ්‍ර උපකාරී වේ.


වංසකතා

යම් රටක හෝ පුද්ගලයන්ගේ හෝ පුද්ගලයෙකුගේ හෝ යම්කිසි වස්තුවක හෝ වෙනත් එවැනි දෙයක හෝ පරම්පරාගත
කතාව විස්තර කරන ග්‍රන්ථ වංසකතා නම් වේ. සිංහලයෝ පෞඪ ලේඛන සම්ප්‍රදායකට හිමිකම් ඇති ජාතියකි. සිංහලයා අවුරුදු 2500 කට වඩා ඈත කාලයක සිට අද දක්වාම ලංකාවේ ඓතිහාසික සිදුවීම් අඛණ්ඩව වාර්තාකර ඇත. එවැනි වාර්තාවන් ලෝකයේ වෙනත් කිසිදු ජාතියකට හිමිනොවේ. පාලි භාෂාවෙන් ලියවී ඇති දැනට ඉතිරිව ඇති පැරණිම වංසකතා ක්‍රි:ව සිවුවන හෝ පස්වන සියවසට අයත් වේ. මෙම ග්‍රන්ථ මුලින් සිංහල භාෂාවෙන් ලියා තිබී පසුව පාලි භාෂාවට පරිවර්තනය කරන ලද ඒවාය. මෙහි දී මුල් ග්‍රන්ථ නොයෙක් වෙනස්කම් වලට ලක්වන්නට ඇත. අවාසනාවන්ත කරුණ වන්නේ මෙසේ ග්‍රන්ථ පරිවර්තනය කිරීමෙන් පසු මුල් සිංහල ග්‍රන්ථ අභාවයට යාමයි. මෙම වංසකතා වල කතුවරු බොහෝදුරට භික්ෂූණ් වහන්සේලා වීම නිසා බෞද්ධ ආගමික පසුතලයක් මේවායේ ගැබ්ව ඇත. මේ නිසා සමහර අවස්ථා වල දී මේවා වර්තමාන සංකල්ප අනුව අංග සම්පූර්ණ ඉතිහාස ග්‍රන්ථ ලෙස හැඳින්විය නොහැක. එනිසා ඉතිහාසඥයින් මේවායෙන් තොරතුරු ගැනීමේ දී කල්පනාකාරී විය යුතුය. එමෙන්ම මෙම වංසකතා වල තොරතුරු ප්‍රධාන වශයෙන් අනුරපුර රජ පවුල වටා ගෙතී තිබීම තවත් ලක්ෂණයකි.


අනුරාධපුර යුගය ගැන තොරතුරු ලැබෙන ප්‍රධාන වංසකතා

අද ඉතිරිව ඇති වංසකතා ඒවා ලියා ඇති භාෂාව අනුව සලකන විට ආකාර දෙකකි. එනම් පාලි වංසකතා හා සිංහල වංසකතා යනුවෙනි. පාලි වංසකතා අතර දීපවංසය, මහාවංසය, ධාතුවංසය, දාඨාවංසය ආදිය වේ. සිංහල වංසකතා අතර පූජාවලිය, සිංහල ථූපවංසය, දළදා සිරිත, රාජාවලිය ආදිය වේ. මෙම වංසකතා අතරින් සමහරක් ගැන විස්තරයක්, එනම් ලියවුනු කාලය, රචකයා, අන්තර්ගතය ආදී කරුණු මෙසේය.


දීපවංසය

පාරම්පරික ඓතිහාසික වාර්තා මගින් ලංකා ඉතිහාසය ලියන්නට ගත් පළමු ප්‍රයත්නය ලෙස දීපවංසය සැලකිය හැකිය. මහාවංසය රචනා කිරීමට පෙර එනම් ක්‍රි:ව සිවුවන සියවසේ සිට පස්වන සියවස දක්වා වූ කාලයේ දීපවංසය ලියවී ඇත. සම්ප්‍රදායානූකූල පිළිගැනීම වී ඇත්තේ දැනට ඉතිරිව ඇති පැරණිම ලාංකික ග්‍රන්ථය දීපවංසය බවයි. මහාවංසය රචනා කිරීමේ දී මූලාශ්‍ර කර ගත් ග්‍රන්ථ අතර දීපවංසය ද එකකි. මහාවංසය වූකලී දීපවංසයේ අට්ඨකතාවය යන අදහස සමහර අය අතර ඇතිවීමට තරම් මෙම ග්‍රන්ථ දෙක අතර සමානත්වයක් දැකිය හැකිය. මෙම ග්‍රන්ථය රචනා කිරීමේදී ඒ සඳහා කුමක් මුල් වුනාද යන්න පිළිබඳව විවිධ මත ප්‍රකාශ වී ඇත. දීපවංසය උසස් සාහිත්‍ය කෘතියක් ලෙස ගිනිය නොහැක. ඓතිහාසික සාහිත්‍ය කෘති අතර මුලින්ම ලියවුනු මෙහි දුර්වලතා බොහෝය. මෙම දුර්වලතා හොදින් කැපී පෙනෙන්නේ මහාවංසය සමග සංසන්දනය කර බලනවිටය. මහාවංසය සාහිත්‍ය කෘතියක එන වර්ණනීය ස්වරූපයෙන් රචනා වී ඇති අතර දීපවංසය ඓතිහාසික පදනම ගත් ශාස්ත්‍රීය නිර්මාණයක් ලෙස රචනා වී ඇත. මෙහි අන්තර්ගත තොරතුරු පරීක්ෂා කර බැලීමේ දී මහාවංසයේ මෙන් ක්‍රමානුකූලත්වයක් නැති අතර ශාස්ත්‍රීය පදනමට හුරු ඓතිහාසිකත්වය ගරු කරන වාර්තා ස්වරූපය දක්නට ලැබේ. දිපවංසයේ පරිච්ඡේද 22 කි. එහි බුදුන් වහන්සේගේ චරිතයේ සමහර සිදුවීම් ද උන්වහන්සේගේ ලංකාගමනය ද යන කරුණු විස්තර කිරීමෙන් පසු විජය රජතුමාගේ රාජ්‍ය කාලයේ පටන් මහසෙන් රජුගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා ලංකා ඉතිහාසයේ තොරතුරු ඉදිරිපත් කරයි. එම තොරතුරු සඳහන් කිරීමේ දී ජනකතා හා විශ්වාස ආදිය ද එයට ඇතුළත් වී ඇත. දීපවංසය මහාවංසයට වඩා ප්‍රමාණයෙන් කුඩා වුවත් එහි අන්තර්ගත ඇතැම් කරුණු මහාවංසයේ දක්නට නොලැබේ. මහා සම්මත රාජ පරම්පරාවට අයත් ඇතැම් රජවරුන්ගේ නම්, ප්‍රථම ධර්ම සංඝායනාවේ දී ධර්මය පිටක වශයෙන් ගායනා කළ බව, පණ්ඩුවාසුදේව රජුගේ පුතුන් දස දෙනාගේ නම්, සංඝමිත්තා මෙහෙනින් වහන්සේ සමඟ වැඩම කළ අනිත් භික්ෂුණීන් වහන්සේගේ නම් ආදිය එබඳු කරුණු වලට උදාහරණය. මෙහි විවිධ භාෂා ශෛලීන්, වියරණ විශේෂ හා පුනරුක්ත ඇත. විධිමත් සැලසුමකින් තොර වීම ද මෙහි ලක්ෂණයකි. එම කරුණු වලින් හෙළි වන්නේ දීපවංසය එක් කතුවරයෙකුගේ කෘතියක් නොව කතුවරු කිහිපදෙනෙකුගේ කෘතියක් බව හෝ නොයෙක් අය ලියා තිබූ කොටස් එකට එක්කර කවරෙකු හෝ විසින් සකස් කළ සංග්‍රහයක් බවයි. එසේ කිරීමේ දී සංස්කරණයකින් තොරව ඒ ඒ කතුවරුන්ගේ හෝ සම්ප්‍රදායවල අදහස් ඒ අයුරින්ම ග්‍රන්ථ වලට ඇතුළත් කොට ඇත. මේ නිසා දෙයාකාරයකින් විස්තර වී ඇති එක් කරුණක් නම් රුවන්වැලිසෑය හා ලෝහ ප්‍රාසාදය සාදන ලද්දේ කවර රජු විසින් ද යන්නයි. එක් තැනෙක දුටුගැමුණු රජුගේ නමත් තවත් තැනක සද්ධාතිස්ස රජුගේ නමත් සඳහන් වේ. භික්ෂුණීන් වහන්සේ පිළිබඳව වෙනත් කෘතිවලට වඩා දීපවංසයේ විස්තර අන්තර්ගත බැවින් මෙය උන්වහන්සේලා විසින් රචනා කරන ලද්දකි යන්න තවත් අදහසකි. නමුත් භික්ෂුණියක් මෙය රචනා කළා නම් "සුනාථ භොන්තෝ, සුනාථ භන්තේ” (හිමිවරුනි අසව්) යන විධානාර්ථය බුදුරජාණන් වහන්සේ වදාල කරුණු අට අනුව භික්ෂුණියකට කිව නොහැක. දීපවංසය ගැන තොරතුරු පැවසීමේ දී මෙහි අන්තර්ගත තොරතුරු කෙටියෙන් සඳහන් කර ඇති බව පෙන්වා දිය හැකිය. උදාහරණයක් ලෙස මහාවංසයේ පරිච්ඡේද 11 කින් දුටුගැමුණු ගැන දක්වා ඇති කරුණු මෙහි දක්වා ඇත්තේ ගාථා 13 කිනි. එමෙන්ම නොයෙක් තැන්හී දෙබස් ඉදිරිපත්කර ඇත්තේ ඒ දෙබස කළ දෙදනාගේ නම් ගැන සඳහනක් නොකරමිනි. දීපවංසයේ කුමන ආකාරයේ දුර්වලතා පැවතිය ද එහි ඓතිහාසිකත්වය මැනිය යුත්තේ ඓත්හාසික සම්ප්‍රදායේ මුල්ම ප්‍රයත්නය ලෙස සලකාය.


මහාවංසය

ක්‍රි:ව හයවන සියවසේ පමණ මහා විහාර නිකායික භික්ෂුවක් වූ මහානාම හිමියන් අතින් මහාවංසය රචනා වී ඇති අතර එය දීපවංසයට වඩා උසස් සාහිත්‍ය කෘතියකි. මහාවංසය අද ද ලියවෙමින් පවතින කෘතියකි. නමුත් මහාවංසය යනුවෙන් අදහස් වන්නේ පළමු පරිච්ඡේදයේ සිට 37 වන පරිච්ඡේදයේ 52 වන ගාථාව දක්වා හෙවත් ආරම්භයේ ක්‍රි:පූ 6 වන සියවසේ සිට මහසෙන් රජතුමාගේ රාජ්‍ය කාලයේ අවසානය දක්වා (ක්‍රි:ව 301) කාල වකවානුව අලලා මහානාම හිමියන් ලිවූ කොටස යැයි සාම්ප්‍රදායානුකූල අදහසක් පවතී. එතැන් පටන් කොටස් චූලවංසය නමිනුත් හැදින්වේ. මෙලෙස නම් දෙකින් හැඳින්වීමට හේතු ඇති බවක් නොපෙනේ. මෙම ව්‍යවහාරය හඳුන්වා ප්‍රචලිත කරන ලද්දේ මහාවංසය ඉංග්‍රීසියට පරිවර්තනය කළ විල්හෙම් ගයිගර් විසිනි. චූලවංසය නමින් හැඳින්වෙන කොටස් වලදී සිදුව ඇත්තේ කතුවරයාගේ වෙනස් වීමක් පමණි. එබැවින් චූලවංසය නමින් හදුන්වා දෙන්නේ නොමැතිව මහාවංසයේ පළමු කොටස, දෙවන කොටස ආදී ලෙස හැඳින්වීම වඩා නිවැරදිය. මෙම පැවරුමේ දී මහාවංස චූලවංස භේදය නොසලකාහැර ඇත. මහාවංස කර්තෘම ග්‍රන්ථාරම්භයේදීම තමාට උපකාරී වූ මූලාශ්‍රයන් පිළිබඳව යම් ආකාරයක සඳහනක් සුළු වශයෙන් වුව ද කරයි. මහානාම හිමියන් මහාවංසය සංග්‍රහ කරන ලද්දේ සීහලට්ඨකතා මහාවංසයේ තිබූ අති දීර්ඝ ස්ථාන සංක්ෂිප්ත කිරීමත්, ඉතා සංක්ෂිප්තව ලියා තිබූ කොටස් විස්තරාත්මක වශයෙන් ඉදිරිපත් කිරීමත්, පුනරුක්තීන් බැහැර කිරීමත්ය යන අරමුණු ඇතිවය. බුදුරජාණන්වහන්සේ කළ විස්තරාත්මක දේශනා ඇතුළත් කර පුරාණ ආචාර්යවරුන් විසින් සිංහල භාෂාවෙන් ලියන ලද ගද්‍යමය අටුවා ග්‍රන්ථ සීහලට්ඨකතා මහාවංසය ලෙස හැඳින්වේ. මෙම සංශෝධිත මහාවංසය රචනා වූයේ පාලි භාෂාවෙනි. එසේ සිංහල වචන පාලියට පෙරලීම නිසා අවුල්සහගත ස්වභාවයක් ඇති වූ අවස්ථා ද තිබේ. නම් ආදියෙහි මේ තත්ත්වය දක්නට ඇත. වට්ඨගාමණි (මෙහි නියම පාලි පරිවර්තනය වනගාමණිය), දුට්ඨගාමණි (මෙහි නියම පාලි පරිවර්තනය ජෙට්ඨගාමණිය) ආදිය නිදසුන්ය. මෙසේ සංශෝධනය කිරීම පසු කාලීන උගතුන්ගේ විවේචනයට ලක් වූ බව වංසත්ථප්පකාසිනියෙන් හෙළිවේ. පාසානදීපවාසී උපතිස්ස තෙරුන් එබඳු විවේචකයෙකි. මීට අමතරව මහානාම හිමියන් මෙම සංස්කරණයේ දී වෙනත් මූලාශ්‍රවල එන ජනප්‍රවාද හා තොරතුරුද උපයෝගීකර ගත් බව මහාවංසයෙන් මෙන්ම මහාවංස ටීකාවෙන් ද හෙළිවෙයි. ඒවා නම් චේතියවංසට්ඨකතා, මහාබෝධිවංසට්ඨකතා, චූලසීහනාදසුත්තවණ්ණනා, සීහලනමක්ඛාරාවණ්ණනා, දීපවංසට්ඨකතා, රෝහණවංසට්ඨකතා, උත්තරවිහාරට්ඨකතා හා පුඤ්ඤපොත්ථක වැනි ග්‍රන්ථය. කවර විවේචනය එල්ල වුව ද තම සංස්කරණය වැඩි ශාස්ත්‍රීය අගයෙන් යුතු කෘතියක් ලෙස ඉදිරිපත් කිරීමට මහානාම හිමියන් සමත් වූ බව පෙනෙන්නට ඇත. මුල් ග්‍රන්ථයේ එන සෑම විස්තරයක්ම තම කෘතියට ඇතුළත් කිරීමට තරම් වැදගත් යැයි මහාවංස කර්තෘ නොසිතූ බව පැහැදිලිය. නිදසුනක් වශයෙන් දුටුගැමුණු කුමරු උපදින්නට පෙර ඔහුගේ මව වූ විහාරමහා දේවියට ඇතිවූ දොළදුකක් මෙහි සවිස්තරව දක්වා ඇත. එහෙත් තිස්ස කුමරු උපදින්නට පෙර බිසවට ඇති වූ දොළදුකක් ගැන මහාවංස කර්තෘ සඳහන් කර නැති නමුත් මෙම විස්තරය සීහලට්ඨකතා මහාවංසයේ තිබූ බව වංසත්ථප්පකාසිනියෙන් හෙළිවෙයි. මහාවංස කර්තෘගේ අදහස අනුව ඔහු වංසකතාව රචනා කළේ "පහන් සංවේගය හා හුදී ජන ප්‍රසාදය" සඳහාය. කර්තෘ බෞද්ධ භික්ෂුවක් වූ බැවින් මේ අදහස ගැන පුදුම විය යුතු නැත. රජවරු කොතෙකුත් උසස් තත්ත්වයක සිටිය ද අවසානයේ මරු හා ගිය බව මහාවංස කර්තෘ නිතරම සඳහන් කරයි. මහාවංසයේ ලෞකික ප්‍රවෘත්ති අඩංගු වෙතත් මහාවංස කර්තෘගේ අවධානය නිතරම යොමු වුනේ ආගමික ඉතිහාසය දෙසටය. පැරණි ශ්‍රී ලංකාවේ පැවති දේශපාලන තත්ත්වය හා ආර්ථික ජීවිතය පිළිබඳ කරුණු මහාවංසයේ තරමක් විරලය. මහා විහාරයට අනුග්‍රහය දැක්වූ රජවරුන්ට දැක්වූ පක්ෂග්‍රාහී බව මහාවංසයේ දුර්වලතාවයකි. මහා විහාරයේ ශ්‍රේෂ්ඨ අනුග්‍රාහකයෙකු වූ දුටුගැමුණු රජුට මෙහි වැදගත් තැනක් ලැබී ඇත. මහාවංසයේ පරිච්ඡේද 37 න් 11 ක්ම වෙන් වී ඇත්තේ දුටුගැමුණු රජුටය. එතුමාටත් වඩා අභියෝගයන්ට මුහුණ දුන් වලගම්බා වැනි රජවරුන් සම්බන්ධව හා මහා විහාරයට එරෙහිව කටයුතු කළ මහසෙන් වැනි රජවරුන් ගැන තොරතුරු සටහන්ව ඇත්තේ අඩුවෙනි. කෙසේ වුවත් තම කෘතියෙහි කිසිදු පුද්ගලයෙකු පිළිබඳ වැරදි සහගත තොරතුරු ඇතුළත් කිරීමට මහාවංස කතුවරයා උත්සාහ ගෙන නැත. සිදුව ඇත්තේ තොරතුරු අඩුවෙන් සටහන් වීම පමණි. ඉතිහාසය යන්නෙහි වර්තමාන අර්ථයට අනුව නම් මහාවංසය ඓතිහාසික කෘතියක් ලෙස සැලකිය නොහැකිය. එසේ වුවද මෙය ලංකාවේ පුරාණ ඉතිහාසය හැදැරීමට ඇති වැදගත් මූලාශ්‍රයක් වන මහාවංසය වංසකතා සාහිත්‍යයේ අග්‍රගණ්‍ය කෘතිය වන බවට සැකයක් නැත.


පූජාවලිය

පූජාවලි ග්‍රන්ථයේ කතුතුමා මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන්ය. නව අරහාදී බුදුගුණ අතර ඇති "අරහං” යන ගුණය විවරණය කරමින් මේ පොත ලියා ඇත. දෙවන පරාක්‍රමබාහු රජුට අනුග්‍රහ පිණිස ද සිංහල භාෂාව දන්නා සත් පුරුෂයන්ට වැඩ පිණිස ද දේව ප්‍රතිරාජ නම් ඇමතියාගේ ආරාධනයෙන් මෙය ලිවීම සිදුවිය. කතුවරයා විසින්ම ග්‍රන්ථ 24,000 ක්, බණවර 96 ක්, අක්ෂර 7,68,000 ක් යැයි සඳහන් කරන මෙම පූජාවලිය පරිච්ඡේද 34 කින් යුක්තය. මෙම පරිච්ඡේද අතරින් 33 වන පරිච්ඡේදය දක්වා බහුලව අන්තර්ගත වන්නේ බුදුරජාණන්වහන්සේ හා බුදු දහම පිළිබඳවය. 33 වන පරිච්ඡේදය ලක්දිව බුදු සසුන සඳහාත් 34 වන පරිච්ඡේදය ලක්දිව ඉතිහාසය සඳහාත් වෙන්ව තිබේ. නමුත් මුල් පරිච්ඡේද තුළ ද ලක්දිව හා සම්බන්ධ තොරතුරු සුළු වශයෙන් අන්තර්ගතය. එවැනි එක් අවස්ථාවකි සද්ධාතිස්ස රජුගේ ශ්‍රද්ධා භක්තියේ මහිමය පෙන්වන කතා පුවත. විජය රජුගේ සිට දඹදෙණි පැරතුම්බා රජුගේ අවසානය දක්වා මෙහි 34 වන පරිච්ඡේදයේ තොරතුරු අන්තර්ගතය. පූජාවලියේ ප්‍රධන මූලාශ්‍රයන් වූයේ බෞද්ධ ත්‍රිපිටක සාහිත්‍යය හා ජාතක කතා බව පෙනේ. උන්වහන්සේ විසින් තම ග්‍රන්ථයේ ඉතිහාසය සම්බන්ධ කොටස් ලිවීමේ දී මූලික මූලාශ්‍රය ලෙස තෝරාගෙන ඇත්තේ මහාවංසයයි. එහෙත් මහාවංසයේ දක්නට ඇති තොරතුරුවලට පටහැණි තොරතුරු මෙන්ම මහාවංසයේ දක්නට නොමැති තොරතුරු ද පූජාවලියේ දක්නට ඇත. මහසෙන් රජු විසින් වැව් දහසෙයක් බදින ලදැයි මහාවංසය පවසන අතර පූජාවලිය ඔහු වැව් දාහතක් බැදි බව සඳහන් කරයි. ඒ අනුව බුද්ධපුත්‍ර හිමියන් තම ග්‍රන්ථය ලිවීමේ දී වෙනත් මූලාශ්‍රයන් ද උපයෝගීකර ගන්නට ඇතැයි අනුමාන කළ හැකිය. පූජාවලියේ අන්තර්ගත ඓතිහාසික තොරතුරු දෙස බැලීමේ දී බොහෝ අවස්ථාවල සඳහන් වී ඇත්තේ රජුගේ නමත්, පාලන කාලයත්, රාජ්‍ය කාලය ගැන ඉද හිට ඉදිරිපත් කරන වැදගත් සිද්ධීනුත් පමණි. මෙහි කැපී පෙනෙන ලක්ෂණයක් නම් මහාවංසයේ පාලි ස්වරූපයෙන් සඳහන් කර ඇති රාජ නාම දේශීය ඌරුවකින් පූජාවලියට ඇතුළත් කිරීමයි. ධාතුසේන යන නම "දාසෙන්කැලි” යනුවෙනුත් තුන්වෙනි මහින්දයන් "හැලිගරවිල්හිස්කෑ සෙම් මිහිඳු” යනුවෙනුත් සඳහන් කර තිබීම මෙයට නිදසුනකි. ප්‍රධාන වශයෙන් පූජාවලියේ ඇත්තේ ඉතා සංක්ෂිප්ත ලංකා ඉතිහාසයක් වුව ද පැරණි ලංකා ඉතිහාසය හැදෑරීමේ දී මෙම ග්‍රන්ථට ද වැදගත් මූලාශ්‍රයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකිය.


රාජාවලිය

විජය රජු පටන් දෙවන විමලධර්මසූරිය රජු දක්වා වූ ලංකා ඉතිහාසය රාජාවලියට ඇතුළත් වේ. රාජාවලියේ කර්තෘ ගැන හෝ රචිත කාලය ගැන නිශ්චිත අදහසක් නැත. ග්‍රන්ථයෙහි අවසානයෙහි දෙවන විමලධර්මසූරිය රජු පිළිබඳව සඳහන් වී ඇති නිසා එය ලියන්නට ඇත්තේ දහඅටවන සියවසේ මුල් යුගයේ දී යැයි අනුමාන කළ හැකිය. මෙය එක් අයෙකුගේ කෘතියක් නොව කර්තෘන් කිහිපදෙනෙකුගේ රචනයක් යැයි ද අදහසකි. පොතේ එක් කොටසක එන "අප බුදුන්” යන වාක්‍යයත් තවත් කොටසක "අපගේ ස්වාමින් යේසුස් ක්‍රිස්තුස්” යනුවෙන් වාක්‍යයකුත් පැවතීම නිසා මෙම ග්‍රන්ථයේ එක් කොටසක් බෞද්ධයෙකු අතිනුත් අනෙක් කොටස ක්‍රිස්තු භක්තිකයෙකු අතිනුත් ලියවුනැයි ඇතැමුන්ගේ අදහසයි. මෙය නිශ්චිත අදහසක් නොවන අතර මෙසේ වීමට හේතුව කර්තෘ විවිධ මූලාශ්‍ර උපයෝගීකර ගැනීම විය හැකිය. මීට පෙර ලියවුනු සැම වංසකතාවකම පාහේ වැඩි අවධානය ආගම දෙසට යොමු වූ අතර රාජාවලී කර්තෘගේ සැලකිල්ල වඩාත්ම යොමු වී ඇත්තේ ලෞකික අංශය කෙරෙහිය. බුදුදහම ලංකාවට ගෙන ඒම සම්බන්ධව අවශ්‍යම තොරතුරු පමණක් දී ඇති ඇත. දුටුගැමුණු රජුගේ දේශපාලන ක්‍රියා මහාවංසයේ ආකාරයටම සවිස්තරව දී ඇති නමුත් ඔහුගේ ආගමික කටයුතු පිළිබඳ විස්තරය වාක්‍ය කිහිපයකින් ලියා ඇත. වට්ඨගාමිණී හා මහසෙන් රජුන්ගේ පාලන සමයන් ගැන ලියවී ඇත්තේ එකළ තිබූ ආගමික කැළඹිලි ගැන කිසිදු සඳහනක් නොකරමිනි. පැරණි වංසකතා කිසිවකත් සඳහන් නොවන සිදුවීම් ද මෙහි අන්තර්ගතය. මේ බව විජය කුවේණි කතාවෙන් පැහැදිලි වේ. රාජාවලිය රචනයේ දී ප්‍රධාන මූලාශ්‍රයක් වූයේ පූජාවලිය බව පෙනේ. නමුත් එක් එක් රජවරුන්ගේ රාජ වර්ෂ පිළිබඳව පමණක් මෙම ග්‍රන්ථ දෙක අතර මහත් පරස්පරයක් ඇති බව පෙනේ. රාජාවලියේ ඇති දිවයිනේ රාජවංශ නාමාවලියෙන් රජවරු කිහිප දෙනෙකුගේම නම් ගිලිහී ගොස් ඇත. මොවුන් ගෙන් සමහරෙකුගේ නම් වන්නි රාජාවලියේ සඳහන් වේ. (වන්නි රාජාවලිය යනු රාජාවලියේම ප්‍රාදේශීය පිටපතක් විය හැකිය) කර්තෘ විසූ කාලයට ආසන්න කාලය පිළිබඳව ලියා ඇති කොටසේ ඇති ප්‍රවෘත්ති ඇතැම් විට චූලවංසයේ එන ප්‍රවෘත්තිවලට වඩා විස්තරාත්මකය. එහෙත් පැරණි ඉතිහාසය යම්බන්ධව මේ තත්ත්වය දැකිය නොහැක.


වෙනත් වංසකතා

අවශේෂ පාලි හා සිංහල වංසකතා අතර බෝධීන් වහන්සේ, මහා ථූපය, දළදා වහන්සේ වැනි ශුද්ධ වස්තූන් අරබයා ලියන ලද විස්තර කතා ද වේ. පාලි බෝධිවංසය, පාලි ථූපවංසය, දාඨාවංසය හා සිංහල බෝධිවංසය, සිංහල ථූපවංසය, දළදා සිරිත ආදිය ඒවාට නිදසුන්ය. මෙම කෘති අරම්භයේ දී සිංහලෙන් ලියා පසුව සංශෝධන ස්වරූපයෙන් පාලි භාෂාවට පරිවර්තනය කර ඇත. සිහලෙන් ලිවූ කෘති නැති වී ගිය නිසා හෝ වෙනත් හේතු නිසා එම ග්‍රන්ථ නැවත වරක් සිංහල භාෂාවෙන් ලියා ඇත. සමහර විට එකම වස්තුවක් අරබයා එසේ ලියන ලද ග්‍රන්ථ කිහිපයක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස දළදා සිරිත හා දළදා පූජාවලිය දැක්විය හැකිය. පොදුවේ මෙම කෘතින්හී සවිස්තරවූත් වැදගත්වූත් ඓතිහාසික තොරතුරු විරලය. පාලි බෝධිවංසය නැමති ග්‍රන්ථ නාමයෙන්ම කියවෙන පරිදි අනුරධපුරයේ ශ්‍රී මහා බෝධියේ ඉතිහාසය අලලා ලියවුනකි. දහවන සියවසේ අග භාගයේ ජීවත් වූ උපතිස්ස නම් හිමිනමක් විසින් ලියන ලද බැව් පිළිගැනේ. මෙය සිංහල මුල් ග්‍රන්ථයක පරිවර්ථනයක් බව කර්තෘම පවසයි. මෙම ග්‍රන්ථයෙහි සිංහල අනුවාදය සිංහල බෝධිවංසය නමින් ප්‍රකට විය. එය කුරුණෑගල සමයේ රජ කළ හතරවන පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය කාලයේ විල්ගම්මුල සංඝරාජ හිමියන් විසින් රචිතය. පාලි ග්‍රන්ථයේ කරුණු සිංහල කෘතියෙන් ඉවත්කර නැතත් එය පාලි ග්‍රන්ථයේ හුදු පරිවර්තනයක්ම නොවේ. ථූපවංසය ලියැවී ඇත්තේ දිවයිනේ මහා ථූපය වූ රුවන්වැලි මහා සෑය මුල්කොට ගෙනය. මෙහි ද පාලි හා සිංහල පිටපත් දෙකක් දක්නට ලැබේ. මුලින් රචනා වූ පාලි ථූපවංසය ලියා ඇත්තේ වාචිස්සර නැමති භික්ෂූණ් වහන්සේ නමකි. එය පොළොන්නරු යුගයේ දී හෝ දඹදෙණි යුගයේ දී රචිතය. සිංහල ථූපවංසය පොළොන්නරු සමයෙන් මද කලකට පසුව රචනා කළ ග්‍රන්ථයක් ලෙස සැලකිය හැකිය. සිංහල ථූපවංසයේ කර්තෘ වූ පරාක්‍රම පණ්ඩිත විසූ කාලය ගැන නිසැක නිගමනයකට බැසීම දුෂ්කරය. සිංහල ථූපවංසය රචනා කිරීමේ දී පාලි ග්‍රන්ථය ඇසුරු කළ නමුත් පාලි ග්‍රන්ථයට සම්පූර්ණයෙන්ම වහල් වී නැත. මෙම ග්‍රන්ථයෙන් අඩකටත් වඩා යොදවා ඇත්තේ මහාථූපයේ ඉතිහාසය හා එය ගොඩනැගූ දුටුගැමුණු රාජ්‍ය කාලය විස්තර කිරීම සඳහාය. පාලි දාඨාවංසය ලියන ලද්දේ ලීලාවතී බිසවගේ කාලයේ දී පළමු වන ධම්මකිත්ති නම් තෙරවරයෙකු විසින් පරාක්‍රම නැමති සෙනෙවියාගේ ආරාධනයෙනි. පාලි දාඨාවංසයට විෂය වී ඇත්තේ කිත්සිරිමේඝවණ්ණ රජුගේ කාලය අවසානය දක්වා දළදා වහන්සේගේ ඉතිහාසයයි. මීට පසුව සිංහල රචකයින් විසින් දන්තධාතුව ගැන වඩා දීර්ඝ වූ කාලයක් අලලා සිංහල දළදාසිරිත ලිවූහ. ක්‍රි:ව දහහතරවැනි සියවස තරම් මෑත කාලයක දී පාලි ග්‍රන්ථයේ සම්ප්‍රදාය අනුව යමින් මෙය ලියවුනි. දන්තධාතූන් වහන්සේගේ ඉතිහාසය ලිවීමට ගත් තවත් ප්‍රයත්නයකි දළදා පූජාවලිය. මෙය පාලි දාඨවංසය අනුගමනය කරමින් ලියා ඇත. පාලි දාඨවංසයේ ඇතුළත් කරුණු වලට අමතරව දළදා පූජාවලියේ අවසාන පරිච්ඡේදය දළදා වහන්සේට ලක්දිව රජවරු විසින් කරන ලද පූජා පිළිබඳ විස්තරයක් සඳහා වෙන් වී ඇත. මෙහි සඳහන් අවසාන රජු සිවුවන පරාක්‍රමබාහු රජු නිසා මේ ග්‍රන්ථය ද ඔහුගේ රාජ්‍ය කාලයට පසුව ලියන ලද්දක් බව පැහැදිලිය. දළදා පූජාවලී කතු තුමා ලක්දිව ඈත අතීතය ගැන ලිවීමේ දී මහාවංසයෙන් ගාථා උපුටාගෙන ඇත. පාලි ලලාටධාතු වංසය තවත් වංසකතාවකි. මෙහි ද සිංහලෙන් හා පාලියෙන් ලියවුනු කෘති දෙකකි. එය දහවන හෝ එකොළොස්වන සියවසේ දී ලියන්නට ඇතැයි අනුමාන කෙරේ. එහි තේමාව වී ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ නළල් ධාතුව පිළිබඳ ඉතිහාසය පැවසීමයි. කර්තෘ අවිනිශ්චිතය. කාම්භෝජ්‍යා මහාවංසය මොග්ගල්‍යාන නැමති භික්ෂුවක් විසින් පොළොන්නරු යුගයේ දී රචනා කරන ලද්දකි. හත්ථවනගල්ල විහාරවංසය සිරිසඟබෝ රජුගේ චරිතයත් අත්තනගලු විහාරයේ ආරම්භය හා සංවර්ධනය විස්තර කෙරෙන්නකි. එය දඹණියේ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ කාලයේ දී අනවමදර්ශී නම් සංඝරාජයානන් වහන්සේගේ ශිෂ්‍යයෙකු විසින් රචිත බව සඳහන් වේ.

ඉතිරි කොටසින් වංසකතාවල සඳහන් වන අනුරාධපුර යුගයට පෙර අවධියේ ඉතිහාසය (සංක්ෂිප්තව) ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරමි.