2010/04/25

පැරණි තාක්ෂණය


දවසක් මම තිස්සමහාරාමයේ යටාල විහාරය පැත්තේ ගිය වෙලාවක තමයි මෙම බුදු පිළිමයක යට කොටස දැක්කේ. මේක යටාල වෙහෙරේ සලපතල මළුවේ අයිනක තමයි තිබුණේ. බුදු පිළිම වල කොටස් නිතර දැකලා තිබුණත් මේකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි පැරණි ප්‍රතිමා නිර්මාණය තාක්ෂණය ගැන වැදගත් කරුණක් පෙනෙන්නට තිබීම. සමහර වෙලාවට සම්පූර්ණ පිළිමයක් හදන්න බැ‍රි වෙලාවට කොටස් වශයෙන් හදලා තියන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට කොටස් සවි කිරීමෙන් පසුව හුණු බදාමයකින් පිළිමය ආවරණය කරන්නට ඇතියි කියලා හිතන්න පුළුවන්. ඉන් පසුව වර්ණ ආලේප කිරීමත් සිදුකරන්නට ඇති. පැරණි ගල් පිළිම වල ඉතිරි වී ඇති බදාම කොටස් හා වර්ණ කොටස් අනුව අපිට එවැනි නිගමනයකට එන්න පුළුවන්. මේ විදිහට සකස් කිරීමෙන් පසුව කොටස් වශයෙන් සවි කළ එකක්ද, තනි ගලින් සෑදූ එකක්ද කියලා බාහිරින් බලලා හොයන්න බෑ. මෙහි උඩ කොටස නම් දකින්නට තිබුණේ නෑ.

2010/04/02

මංගල ඡායාරූපකරණය

මගේ විනෝදාංශයක් තමයි ඡායාරූපකරණය. අවුරුදු 5 ක විතර ඉදන් යන යන හැම තැනකම ෆොටෝ ගන්න මම කැමතියි. ඒත් ඒක වෘතිය මට්ටමින් කරපු වැඩක් නෙමේ.

ඔහොම ඉන්නකොට දවසක් මගේ යාලුවෙක් මට කතා කරලා කිව්වා එයාගේ මගුල් ගෙදර ෆොටෝ ටික ගහලා දෙන්න කියලා. දැන් මාස 2 කට විතර කලින් තමයි මේක මට කිව්වේ. කොච්චර ෆොටෝ ගත්තත් මේ වගේ එකක් කරන්න මගේ කිසිම අදහසක් තිබුණේ නෑ. ඒ වගේ අවස්ථාවක් ඡායාරූපගතකරන්නට අවශ්‍ය කැමරාවක් මා ළග ඇත්තෙත් නෑ. අනික ඉතින් පරිසරය, ස්මාරක ඡායාරූපගත කිරීම වගේ නෙමේ මේ වගේ අවස්ථාවක් ඡායාරූප ගන්න එක. ඉතින් මන් වැඩේ බෑ කිව්වා. එත් මගේ යාලුවට ලොකුවට වැඩේ ඕනි උනේ නෑ. මොකද සල්ලි දීලා වෘත්තීය මට්ටමේ කෙනෙක් ගෙනත් මේ වැඩේ කරන්න ගියොත් විශාල වියදමක් යන නිසා. අද කාලේ මංගල උත්සවයක් ගන්නකෝට යන අත්‍යාවශ්‍ය වැඩ වලට යන වියදමේ හැටියට ‍ඡායාරූප ගන්නත් රු30,000 ක් විතර වියදම් කරන්න උනොත් මගේ යාලුවට සෑහෙන වියදමක් යන නිසා තමයි මට වැඩේ බාර දෙන්න තීරණය කරලා තියන්නේ.....

ඉතින් මොනවා කරන්නද මම වැඩේ පුලුවන් හොදට කරලා දෙන්න බාර ගත්තා. උදව්වක් විදිහට. ඒත් කැමරාවක් මට හොයලා දෙන්න කියලා මම එයාට කිව්වා. මොකද මගේ එකේ ඩිස්‍ප්ලේ එක වැඩ කරන්නේ නැති නිසා. කැමරාවක් හොයාගෙන ඒකේ මොඩල් එක කියන්න කියලත් කිව්වා. මොකද කැමරාව ගැන කලින් දැන ගන්න එක කෝකටත් හොද නිසා. ඔන්න ඉතින් මගේ යාලුවා කැමරාව හොයාගෙන ඒකේ මොඩල් එක මට කියලා එව්වා. (Fuji FinePix S9600) කියපු මොඩල් එකේ විස්තරය අන්තරජාලයෙන් සෙවුමක් දාලා බැලුවම මට ආයි සැරයක් වැඩේ අතෑරලා දාන්න හිතුනා. මොකද මේ කැමරාව SLR මාදිලියට අයත් වෘතීය ම‍ට්ටමේ කැමරාවක් නිසා. මම කිසිම දවසක මේ වගේ කැමරාවකින් වැඩ කරලා නැහැ. වෙන වෙලාවක නම් කමක් නෑ. කැමැත්තෙන්ම පුරුදු වෙන්නත් එක්ක ෆොටෝ ගන්නවා. ඒත් මගුල් ගෙදර ගිහින් කැමරා පුරුදු වෙන්න ගියොත් අන්තිම‍ට ෆොටෝ ටික ගන්න දෙයක් නැතිවෙයි. ඒත් මගේ යාලුවා කිව්වා ෆොටෝ වැදුනේ නැතත් කමක් නෑ වැඩේ කරන්න කියලා. ඉතින් ඔක්කොම හරි නිසා කලින් දවසෙම මම ගියා එයාගේ ගෙදර. මොකද කැමරාව පුරුදු වෙන්නත් ඕනි නිසා. ඒත් අන්තිමේ උනේ නොහිතපු දෙයක්. කැමරාව දෙනවා කියපු කෙනා එයාගේ තීරණේ හදිසියේ වෙනස් කරගෙන. අන්තිමට රෑ තිස්සේ හොයලා කැමරාවක් අපි හොයාගත්තා. එත් ඒක Point-&-Shoot (Compact Digital Camera) වර්ගයේ බොහෝම සාමාන්‍ය කැමරාවක් (DST-T5 sony) අන්තිමේ මගුල් ගෙදර දවස් දෙකම අවාරණය කළේ මේ කැමරාවෙන්. ඇත්තටම මේ වගේ කැමරාවකින් මංගල උත්සවයක් ඡායාරූපගත කරනවා කියන්නේ එක අතකට පිස්සු වැඩක්..........

මොනවා උනත් මගුල් ගෙදර වැදගත් අවස්ථා සියල්ලම වගේ කැමරාවට හසුකර ගන්න නම් මට පුලුවන් උනා. ඒ වගේම මේ වගේ අවස්ථාවක් ඡායාරූපගත කිරීම ගැන හොද අත්දැකීමක් ලබා ගන්නත් පුලුවන් උනා. ඒකනම් කියලා වැඩක් නෑ. මංගල උත්සවයක් ඡායාරූපගත කරනවානම් මුලින්ම එම උත්සවයේ අවස්ථා ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනි කියලා මට තේරුණා. නැත්නම් වැදගත් අවස්ථා මගෑරෙන්න පුලුවන්. අනික අවස්ථාව හොදින් පේන පැත්තක ඉන්නත් ඕනි. මොකද හැම දෙයක්ම එක පාරයිනේ වෙන්නේ. අනික තවත් මගේ අදහසක් තමයි අපි ගන්න ඡායාරූප වල ලස්සනට බලපාන තවත් සාධකයක් තමයි උත්සව ශාලාවේ සැරසිලි සහ ආලෝකකරණය. ඒවා මගින් සිදුවීම් වලට පෞඩ පෙනුමක් ලබා දෙනවා කියලා මම හිතනවා. අනිත් දේ තමයි මනමාල යුවලගේ ඇදුම්වල හා මේක්අප් වල තත්ත්වය. ඒවා මනාල යුවලට ගැලපුනේ නැත්නම් ඉතින් වැඩේ අවුල්. පලපුරුදු, ප්‍රවීන ඡායාරූප ශිල්පියෙකුට තමාගේ වැඩේ සාර්ථකව කිරීමේදී මම කලින් කියපු දෙවලි වලින් ලොකු සහයක් ලැබෙනවා ඇති කියලයි ඡායාරූප ගන්න කොට මට හිතුනේ.

සාමාන්‍යයෙන් ෆොටෝ ගන්න කෙනාම තමයි ඇල්බම් එක හදන්නෙත්. මේ දෙකටම තමයි මිල ගණන් ඉදිරිපත් කරන්නෙත්. මේ මිල ගණන් රු 25,000 පමණ සිට රු 1,00,000 පමණ දක්වා දිවෙනවා. අන්තර්ජාලයේ සෙවීමක් කළොත් ලංකාවේ ඉන්න මංගල ඡායාරූප ශිල්පීන් හා ඔවුන්ගේ මිල ගණන් ගැන ගොඩක් විස්තර දැනගන්න පුලුවන්. ඒ විතරක් නෙමේ ඒ අය විසින් ගත්ත ඡායාරූප එකතූන් දැකබලා ගන්නත් පුලුවන්. ෆේස්බුක් තුළත් අපේ රටේ මංගල ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙකුගේ Group තිබෙනවා මම දැකලා තියනවා. කවදා හරි තමන්ගේ මංගල උත්සවය යළි මැවෙන ආකාරයෙන් ඡායාරූපගත කර ගැනිමට හිතෙනවානම් ප්‍රවීනයන් විසින් ගත් එවැනි ඡයාරූප බලන්නත් අමතක කරන්න එපා. ඒවායින් ඡායාරූප ශිල්පීන්ට විතරක් නෙමේ අනිත් අයටත් ඉගෙනගන්න දේවල් තියෙනවා. ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් නිසා හොදම කෙනෙක් ලවා ඡායාරූප ගන්න තියනවානම් හොදයි. ඒත් ඒ සදහා යන අධික වියදම තමයි ඉතින් ප්‍රශ්නේ.

මම මංගල ඡායාරූප ශිල්පියෙක් නම් නෙමේ. ඒත් අහම්බෙන් උන සිදුවීමක් නිසා මට ලැබුණු අත්දැකීම කියන්න කියලයි මේ post එක දැම්මේ..................