Showing posts with label ඡායාරූපකරණය. Show all posts
Showing posts with label ඡායාරූපකරණය. Show all posts

2010/08/23

අභයගිරියේ සමාධි පිළිමය (ඡායාරූප)

මෙම ස්ථානයේ අතීතයේ බෝධිඝරයක් තිබුණා යැයි සැලකේ. මෙම පිළිමයට පිටුපසින්ද තවත් මෙවැනිම ආකාරයක් ගන්නට ඇතැයි සිතිය හැකි සමාධි පිළිමයක කොටසක් දැකිය හැකිය.මෙම පිළිමයේ වීරාසන මුද්‍රාවෙන් පාද පිහිටුවා ඇත. මෙම පිළිමයේ දෙඇස් වලට මැණික් ඔබ්බවා තිබෙන්නට ඇතැයි සැලකේ.

අභයගිරියේ ඇති මේ සුප්‍රසිද්ධ සමාධි පිළිමය ගැන මිනිසුන් පවසන අදහසක් වන්නේ, ප්‍රතිමාවේ මුහුණ දෙස දෙපසින් බැලීමේදී ආකාර දෙකකින් පෙනෙන බවයි. එනම් එක් පසෙකින් බැලීමේදී සිනාසෙන ආකාරයකුත්, අනිත් පසින් බැලීමේදී දුක්මුසු ආකාරයකුත් පෙනෙන බවයි. එසේම ඉදිරියෙන් බැලූ විට උපේක්ෂා සහගත ස්වරූපයක් දක්වන බවත්ය. නමුත් මේ ගැන සමහරු එකඟ නෑ. මේ ඡායාරූප අතර එලෙස ප්‍රතිමවේ දෙපසින්ම ගත් ඒවා මෙන්ම ඉදිරියෙන් ගත් ඒවාද ඇත. ඒවා බලා මේ අදහස් ගැන ඔබටම නිගමනයක‍ට එළඹිය හැකිය.....

මම 2010.06.30 ගත්ත ඡායාරූප ටිකක් තමයි මේ තියන්නේ.

ඉතිරි ඡායාරූප ටික බලන්න මගේ facebook fan page එකට එන්න කියලා ආරාධානා කරනවා. මේ බ්ලෝග් පිටුවේ දකුණු පැත්තේ එතෙන්ට යන පාර ඇති.......


2010/08/09

හම්බන්තොට වරාය වැඩබිම (ඡායාරූප)

හම්බන්තොට නව වරාය වැඩබිම මේ දින වල ලංකාවේ සැමගේ අවධානය දිනාගෙන තිබෙනවා. වරායට ලඟදීම ජනාධිපතිතුමගේ ප්‍රධානත්වයෙන් ජලය පිරවීම ආරම්භ කරන අතර ඊට කලින් වරාය දැක ගැනීම සැමගේ අපේක්ෂාවයි. කොහොම උනත් මම අඟහරුවාදා හම්බන්තොට වරාය අධිකාරියේ කාර්යාලය ලගින් (හම්බන්තොට-ඇඹිලිපිටිය පාරේ) යන කොට එතන වැඩි සෙනගක් හිටියේ නැතත් වරාය බලන්න ...හිතාගෙන සිකුරාදා එතනට එනකොට තත්ත්වේ සැහෙන්න වෙනස් වෙලා. විශාල පිරිසක් ඇවිත් සිට අතර අම්බලන්තොට ඩිපෝවෙන් වරාය සේවා නම්න් වෙනම බස් සේවයක් යොදවා තිබුණා. පාස් නැති අයට වරායට පිවිසෙන්න උනේ මේ බස් මගින්. යන්න එන්න දෙකටම රු 20 ක් ගත්ත මේ බස් සෙනඟ සම්පූරණයෙන් පිරුණු ගමන් වරාය දක්වා ගිහින්, එතනින් කට්ටිය අරන් ආයි එනවා. මේ විදිහට විනාඩි 5න් 5ට බස් ගියා. හැබැයි පෞද්ගලික වාහන වල පාස් අරන් යනවට වඩා විශේෂ බස් සේවයේ යන එක ඉක්මන් කියලා මට හිතුනේ. අද වෙනකොට නම් තත්ත්වේ තවත් බරපතල ඇති. මම දැක්කා ඊයේ 2010.08.07 ලියපු බ්ලෝග් එකක තියනවා කාර්යාලයේ සිට වරාය දක්වා තියන මේ 2km විතර දුර යන්න ඒ කට්ටියට පැය 4ක් ගියා කියලා!!!

මම සිකුරාදා (2010.08.06) ගිහින් වරාය පැත්තේ ගත්ත ඡායාරූප ටිකක් තමයි මේ තියන්නේ.

ඉතිරි ඡායාරූප ටික බලන්න මගේ facebook fan page එකට එන්න කියලා ආරාධානා කරනවා. මේ බ්ලෝග් පිටුවේ දකුණු පැත්තේ එතෙන්ට යන පාර ඇති.......





2010/05/13

අසාර්ථක පළමු ෆොටෝ චාරිකාව

කාලයක් තිස්සේ හීන බලලා ගත්ත කැමරාවත් අරන් කොහේ හරි ෆොටෝ චාරිකාවක් යන්න ලොකු උවමනාවක් මට තිබුණා. කොහොම හරි ඒකට අද හවස වෙන් කරගෙන මගේ රූම් එකේ ඉන්න ධම්මික අයියත් එක්ක තිස්ස වැව පැත්තට යන්න හිතුවා. ඉතින් බයිසිකලේකුත් හොයාගෙන ගමන පටන් ගත්තා. කැමරාවේ තියන එකේක ජාතියේ settings වෙනස් කර කර දිගට හරහට ෆොටෝ ගත්තා. තිස්සමහාරාම ස්තූපය ලගින් පටන්ගෙන තිස්ස වැවේ බැම්ම දිගේ ගිහින් වැවේ ඇල පාර තියන පැත්තටයි අපි ගියේ. මේ පාරේ අපි දෙන්නගෙන් කවුරුවත්ම ගිහින් නෑ. ඒත් දිගටම ගියා. මොකද මාර ලස්සන පැත්තක් නිසා. විශාල මාර ගස් මේ පාර පුරාම තියන නිසා කියලා වැඩක් නැති ලස්සනක් තිබුණේ. හැබැයි Office එකෙන් ආවේ 5 ට නිසා මේ හරියට එනකොට ආලෝකේ හොද තත්ත්වෙක තිබුණේ නෑ. (පස්සේ බැලින්නම් අරගත්ත ෆොටෝ ඔක්කොම බොද වෙලා) කොහොම කොහොම හරි බයිසිකලේ පැය එකහමාරක විතර ගමනක් ගිහන් ආයි ඉන්න තැනට එන කොට ඇගට හොද ගනන්. කොන්දත් රිදෙන්න ගත්තා. බඩගිනියි ඔක්කොටම වඩා. මොනවා උනත් ආපු ගමන් ෆොටෝ ටික computer එකෙන් බලද්දි දුකේ බෑ. ඔක්කොම ෆොටෝ 148 ක් අරන් තිබුණත් වැඩකට ඇති එකම එක ෆොටෝ එකයි තිබුණේ. අනේ ඉතින් මොනවා කරන්නද. මගේ පළවෙනි ෆොටෝ චාරිකාව හොදමට අසාර්ථකයි. නිධානය වගේ තිබුණ ඒක ඔන්න ඉතින් මගේ flickr ගිණුමට දැම්මා. (මෙතන ඔබන්න) පස්සේ ඉතින් රැට උයාගන්නත් පන නැති නිසා තිස්ස ටවුමේ කඩේකින් හොද කොත්තුවක් කාලා ඇවිත් bolg එකට දාන්න මේකත් ලියලා දවස අවසන් කළා.

මගේ චාරිකාව අසාර්ථකයි තමයි. හැබැයි ෆොටෝ ගන්න කැමති අයට, ඕනි ආලෝකයක් යටතේ ෆොටෝ ගන්න ත්‍රිපාද එහෙම තියන අයට හවසක තිස්ස වැවේ බැම්ම දිගේ ගිහින් යටාල පැත්තට විහිදී යන ඇල මාර්ග දිගේ ගියොත් හරිම ලස්සන දර්ශන ටිකක් කැමරාවේ සටහන් කර ගන්න පුලුවන් වේවි.

2010/04/02

මංගල ඡායාරූපකරණය

මගේ විනෝදාංශයක් තමයි ඡායාරූපකරණය. අවුරුදු 5 ක විතර ඉදන් යන යන හැම තැනකම ෆොටෝ ගන්න මම කැමතියි. ඒත් ඒක වෘතිය මට්ටමින් කරපු වැඩක් නෙමේ.

ඔහොම ඉන්නකොට දවසක් මගේ යාලුවෙක් මට කතා කරලා කිව්වා එයාගේ මගුල් ගෙදර ෆොටෝ ටික ගහලා දෙන්න කියලා. දැන් මාස 2 කට විතර කලින් තමයි මේක මට කිව්වේ. කොච්චර ෆොටෝ ගත්තත් මේ වගේ එකක් කරන්න මගේ කිසිම අදහසක් තිබුණේ නෑ. ඒ වගේ අවස්ථාවක් ඡායාරූපගතකරන්නට අවශ්‍ය කැමරාවක් මා ළග ඇත්තෙත් නෑ. අනික ඉතින් පරිසරය, ස්මාරක ඡායාරූපගත කිරීම වගේ නෙමේ මේ වගේ අවස්ථාවක් ඡායාරූප ගන්න එක. ඉතින් මන් වැඩේ බෑ කිව්වා. එත් මගේ යාලුවට ලොකුවට වැඩේ ඕනි උනේ නෑ. මොකද සල්ලි දීලා වෘත්තීය මට්ටමේ කෙනෙක් ගෙනත් මේ වැඩේ කරන්න ගියොත් විශාල වියදමක් යන නිසා. අද කාලේ මංගල උත්සවයක් ගන්නකෝට යන අත්‍යාවශ්‍ය වැඩ වලට යන වියදමේ හැටියට ‍ඡායාරූප ගන්නත් රු30,000 ක් විතර වියදම් කරන්න උනොත් මගේ යාලුවට සෑහෙන වියදමක් යන නිසා තමයි මට වැඩේ බාර දෙන්න තීරණය කරලා තියන්නේ.....

ඉතින් මොනවා කරන්නද මම වැඩේ පුලුවන් හොදට කරලා දෙන්න බාර ගත්තා. උදව්වක් විදිහට. ඒත් කැමරාවක් මට හොයලා දෙන්න කියලා මම එයාට කිව්වා. මොකද මගේ එකේ ඩිස්‍ප්ලේ එක වැඩ කරන්නේ නැති නිසා. කැමරාවක් හොයාගෙන ඒකේ මොඩල් එක කියන්න කියලත් කිව්වා. මොකද කැමරාව ගැන කලින් දැන ගන්න එක කෝකටත් හොද නිසා. ඔන්න ඉතින් මගේ යාලුවා කැමරාව හොයාගෙන ඒකේ මොඩල් එක මට කියලා එව්වා. (Fuji FinePix S9600) කියපු මොඩල් එකේ විස්තරය අන්තරජාලයෙන් සෙවුමක් දාලා බැලුවම මට ආයි සැරයක් වැඩේ අතෑරලා දාන්න හිතුනා. මොකද මේ කැමරාව SLR මාදිලියට අයත් වෘතීය ම‍ට්ටමේ කැමරාවක් නිසා. මම කිසිම දවසක මේ වගේ කැමරාවකින් වැඩ කරලා නැහැ. වෙන වෙලාවක නම් කමක් නෑ. කැමැත්තෙන්ම පුරුදු වෙන්නත් එක්ක ෆොටෝ ගන්නවා. ඒත් මගුල් ගෙදර ගිහින් කැමරා පුරුදු වෙන්න ගියොත් අන්තිම‍ට ෆොටෝ ටික ගන්න දෙයක් නැතිවෙයි. ඒත් මගේ යාලුවා කිව්වා ෆොටෝ වැදුනේ නැතත් කමක් නෑ වැඩේ කරන්න කියලා. ඉතින් ඔක්කොම හරි නිසා කලින් දවසෙම මම ගියා එයාගේ ගෙදර. මොකද කැමරාව පුරුදු වෙන්නත් ඕනි නිසා. ඒත් අන්තිමේ උනේ නොහිතපු දෙයක්. කැමරාව දෙනවා කියපු කෙනා එයාගේ තීරණේ හදිසියේ වෙනස් කරගෙන. අන්තිමට රෑ තිස්සේ හොයලා කැමරාවක් අපි හොයාගත්තා. එත් ඒක Point-&-Shoot (Compact Digital Camera) වර්ගයේ බොහෝම සාමාන්‍ය කැමරාවක් (DST-T5 sony) අන්තිමේ මගුල් ගෙදර දවස් දෙකම අවාරණය කළේ මේ කැමරාවෙන්. ඇත්තටම මේ වගේ කැමරාවකින් මංගල උත්සවයක් ඡායාරූපගත කරනවා කියන්නේ එක අතකට පිස්සු වැඩක්..........

මොනවා උනත් මගුල් ගෙදර වැදගත් අවස්ථා සියල්ලම වගේ කැමරාවට හසුකර ගන්න නම් මට පුලුවන් උනා. ඒ වගේම මේ වගේ අවස්ථාවක් ඡායාරූපගත කිරීම ගැන හොද අත්දැකීමක් ලබා ගන්නත් පුලුවන් උනා. ඒකනම් කියලා වැඩක් නෑ. මංගල උත්සවයක් ඡායාරූපගත කරනවානම් මුලින්ම එම උත්සවයේ අවස්ථා ගැන හොද අවබෝධයක් තියෙන්න ඕනි කියලා මට තේරුණා. නැත්නම් වැදගත් අවස්ථා මගෑරෙන්න පුලුවන්. අනික අවස්ථාව හොදින් පේන පැත්තක ඉන්නත් ඕනි. මොකද හැම දෙයක්ම එක පාරයිනේ වෙන්නේ. අනික තවත් මගේ අදහසක් තමයි අපි ගන්න ඡායාරූප වල ලස්සනට බලපාන තවත් සාධකයක් තමයි උත්සව ශාලාවේ සැරසිලි සහ ආලෝකකරණය. ඒවා මගින් සිදුවීම් වලට පෞඩ පෙනුමක් ලබා දෙනවා කියලා මම හිතනවා. අනිත් දේ තමයි මනමාල යුවලගේ ඇදුම්වල හා මේක්අප් වල තත්ත්වය. ඒවා මනාල යුවලට ගැලපුනේ නැත්නම් ඉතින් වැඩේ අවුල්. පලපුරුදු, ප්‍රවීන ඡායාරූප ශිල්පියෙකුට තමාගේ වැඩේ සාර්ථකව කිරීමේදී මම කලින් කියපු දෙවලි වලින් ලොකු සහයක් ලැබෙනවා ඇති කියලයි ඡායාරූප ගන්න කොට මට හිතුනේ.

සාමාන්‍යයෙන් ෆොටෝ ගන්න කෙනාම තමයි ඇල්බම් එක හදන්නෙත්. මේ දෙකටම තමයි මිල ගණන් ඉදිරිපත් කරන්නෙත්. මේ මිල ගණන් රු 25,000 පමණ සිට රු 1,00,000 පමණ දක්වා දිවෙනවා. අන්තර්ජාලයේ සෙවීමක් කළොත් ලංකාවේ ඉන්න මංගල ඡායාරූප ශිල්පීන් හා ඔවුන්ගේ මිල ගණන් ගැන ගොඩක් විස්තර දැනගන්න පුලුවන්. ඒ විතරක් නෙමේ ඒ අය විසින් ගත්ත ඡායාරූප එකතූන් දැකබලා ගන්නත් පුලුවන්. ෆේස්බුක් තුළත් අපේ රටේ මංගල ඡායාරූප ශිල්පීන් කිහිප දෙනෙකුගේ Group තිබෙනවා මම දැකලා තියනවා. කවදා හරි තමන්ගේ මංගල උත්සවය යළි මැවෙන ආකාරයෙන් ඡායාරූපගත කර ගැනිමට හිතෙනවානම් ප්‍රවීනයන් විසින් ගත් එවැනි ඡයාරූප බලන්නත් අමතක කරන්න එපා. ඒවායින් ඡායාරූප ශිල්පීන්ට විතරක් නෙමේ අනිත් අයටත් ඉගෙනගන්න දේවල් තියෙනවා. ජීවිතයේ වැදගත්ම අවස්ථාවක් නිසා හොදම කෙනෙක් ලවා ඡායාරූප ගන්න තියනවානම් හොදයි. ඒත් ඒ සදහා යන අධික වියදම තමයි ඉතින් ප්‍රශ්නේ.

මම මංගල ඡායාරූප ශිල්පියෙක් නම් නෙමේ. ඒත් අහම්බෙන් උන සිදුවීමක් නිසා මට ලැබුණු අත්දැකීම කියන්න කියලයි මේ post එක දැම්මේ..................