Showing posts with label පුරාවිද්‍යාව. Show all posts
Showing posts with label පුරාවිද්‍යාව. Show all posts

2010/11/12

1935 වසරේ නිකුත් වී ඇති ලංකාව පිළිබඳ වාර්තා චිත්‍රපටියක්

1935 වසරේ නිකුත් වී ඇති විනාඩි 37 ක ලංකාව පිළිබඳ වාර්තා චිත්‍රපටියක් ගැනයි මේ කතාව. "ලංකා ගීතය" (song of ceylon) {මෙතනින් යන්න} නමින් යුතු මේ චිත්‍රපටිය ලංකාව ගැන ඇති පැරණිම උසස් මට්ටමේ වාර්තා චිත්‍රපටිය ලෙසයි සලකන්නේ.

මේ ගැන මම දැන ගත්තේ ලංකා කැමරා සඟරාවකට සිනමාවේදී තිස්ස ඔබේසේකර මහතා විසින් ලිවූ ලිපියකින්. එතුමා පවසන ආකාරයට මීට කළින් කළ ලංකාව සම්බන්ධව කළ රූපගත කිරීම් ගැන සඳහන්ව ඇතත් ඒවා මේ ලංකා ගීතය මෙන් උසස් නිර්මාණයන් ලෙස නොසැලකේ. සිනමාවේදී තිස්ස ඔබේසේකර මහතා, එතුමාට දකින්න ලැබුණු 1904 දී කළ "Ramble Through Ceylon" නැමති මෙවැනිම වාර්තා චිත්‍රපටියක් ගැන පවසා තිබේ. ලංකා ගීතය බැසිල් රයිට් නැමති අයෙකු විසින් නිපදවා ඇත. මහා බ්‍රිතාන්‍යාය් GPO Film Unit මේ චිත්‍රපටියේ නිශ්පාදන සමාගම වී ඇති අතර අනුග්‍රහය දක්වා ඇත‍්තේ Ceylon Tea Propaganda Bureau, Empire Tea Marketing Board යන ආයතන විසින්ය.

මේ මුළු සිනමා සිතුවම ම එදවස සමාජය ගැන වැදගත් තොරතුරු රැසක් ඉදිරිපත් කළ ද මගේ හිත වැඩියෙන්ම ගියේ මේ චිත්‍රපටියේ අවසාන විනාඩි කිහිපයේ ඇති පොළොන්නරුවේ ගල් විහාරයේ දර්ශන කිහිපයක් සඳහාය. පුරාවිද්‍යාත්මක වශයෙන් මෙම කොටසේ ඇත්තේ අනුපමය වැදගත් කමකි. මෙම දුලබ දර්ශන මගින් 1935 දී ගල් විහාරය තිබුණේ කෙසේද යන්න ගැන සජීවී අදහසක් ලැබේ.

ඒ කොටස බලද්දී මට පොළොන්නරුවේ මෑත ඉතිහාසය ගැන අතුරු කතාවක් මතක් උනා.

කැම්පස් එකේ ඉන්න කාලේ "ඡායාරූප ඇසුරින් හෙළිවන පොළොන්නරුව ලෝක උරුම නගරයේ ස්මාරක සුරැකීමේ ස්වභාවය" යන මාතෘකාවෙන් යුතු පුරාවිද්‍යා නිබන්ධනයක් සඳහා පරණ ඡායාරූප රැසක් මම එකතුකර ගත්තා. ඒ අතරට පොළොන්නරුවේ ගල් විහාරයත් ඇතුළත් වුණි. මගේ ඡායාරූප එකතුවේ ඇති ගල් විහාරයේ ස්වරූපය ගැන පැරණිම ඡායාරූපය 1866 - 1870 කාලයේදී ගනු ලැබූවක්. ඒ Joseph Lawton ගේ ඡායාරූප අතරින්ය. ඊට අමතරව ආසන්න කාලයේ මෙරටට ආ විදේශ සංචාරකයින්ගේ වාර්තා මගින්ද වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගත හැකිවිය. මෙම චිත්‍රපටියේ දැක්වෙන 1935 වසර වන විට පොළොන්නරුව ඉංග්‍රීසීන් විසින් සොයාගෙන ගතවී තිබුණේ වසර 115 ක පමණ කාලයකි. 1900 න් පසුව පොළොන්නරු වටදාගෙය ආදී ප්‍රධාන ස්ථාන පුරාවිද්‍යාත්මක්ව සංරක්ෂණය ඇරඹුණු අතර ඒ අනුව ගල් විහාරය අවට ප්‍රදේශයත් සංරක්ෂණය කර ඇත. G. E. Mitton විසින් 1916 දී දැක තිබුණේ මෙතැනට ආ බෞද්ධයන් සැතපෙන පිළිමයේ මුහුණ හා දෙපතුල් ජලයෙන් සේදූ බවයි. (ලංකාවේ නටබුන් නගර, පරිවර්තනය සරත්චන්ද්‍ර ජයකො‍ඩි) නමුත් මේ චිත්‍රපටියේ සිටින වන්දනාකරුවා එවැන්නක් නොකරයි. කලින් තිබු එම සිරිත 1935 වන විට වෙනස් වී ඇති බව සිතිය හැකිය. එස්. ටී. නිහාල් සිං විසින් ලිවූ "Ceylon new and old" කෘතියේ 1928 දී ගත් මෙම ස්ථානයේ ඡායාරූපයකින් චිත්‍රපටියේ ඇති කාලයට සමකාලීනව මෙම ස්ථානයේ ස්වරූපය දැකගැනීමට හැකිය. නමුත් මේ චිත්‍රපටියේ ඇති කාලයට වසර 4 කට පසුව, එනම් 1939 දී මෙම ස්ථානයට ආ ඩබ්ලිව්. ටී. කීබල් පවසන්නේ වනයේ හුදකලා වී තිබු මෙම විහාරයේ පොල්තෙල් පහනක් පවා දැල්වූයේ කලාතුරකින් බවයි. (පුරුදු පාර, පරිවර්තනය පේමචන්ද්‍ර අල්විස්) ඔහු දුටු එම හුදකලා බව මෙම චිත්‍රපටියේද දැකගත හැකිය. මගේ නම් අදහස තහඩු ආවරණ නොතිබුණු එදා ගල් විහාරය අදට වඩා හොඳ බවයි....

එමෙන්ම හිටි ප්‍රතිමාවේ හිසේ කොටසක්ද නැත. (අද මෙම කොටස ප්‍රතිසංස්කරණය කර ඇත)

සෙසු කොටස් වලින්ද එදවස සමාජය ගැන වැදගත් තොරතුරු රැසක් හෙළිදරව් වේ..........

2010/07/31

ගෙවල් හදන්න ගන්න විදිහේ ගඩොල් ස්මාරක සංරක්ෂණයට යොදා නොගන්නේ ඇයි?

අනුරාධපුරේ පැත්තේ එහෙම ගිය වෙලාවක පැරණි ස්මාරක සංරක්ෂණය කරන වැඩ බිම් අසලින් ඔබ ගිහින් ඇති. ඒ වගේ වෙලාවක දකින්නට ඇති එම ස්මාරක සංරක්ෂණයට යොදාගන්නා ගඩොල් අපි දකින සාමාන්‍ය ගඩොල් වලට වඩා‍ වෙනස් බව. මේ විදිහට අපි ගෙවල් සෑදීමට ගන්නා ගඩොල් වලට වඩා වෙනස් විදිහේ ගඩොලක් ස්මාරක සංරක්ෂණයට යොදා ගන්නේ හේතු කිහිපයක් නිසා.

පැරණි ස්මාරක සංරක්ෂණයේදී මුල් කාලයේදී යොදාගත්තේ ඉංජිනේරු ගඩොල් ලෙස අපි හදුන්වන ගඩොල්ය. නමුත් පුරාවිද්‍යාත්මක මූලධර්ම අනුව මේ ගඩොල් පැරණි ස්මාරක සංරක්ෂණයට නුසුදුසු යැයි පුරාවිද්‍යාඥයෝ තීරණය කළහ. ඒ අනුව පැරණි ගඩොල් වල ප්‍රමාණයටම සැකසූ එහෙත් යම් වෙනසක් සහිත ගඩොලක් ස්මාරක සංරක්ෂණය සඳහා යොදා ගැනීමට කටයුතු යොදන ලදී.

පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා ලංකාවේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකෙන් එකක් වන මධ්‍යම සංස්කෘතික අරමුදලේ වැඩබිම් සඳහා ගඩොල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වූ නිසා එම ගඩොල් අවශ්‍යතාවය සැපිරීමට විශේෂ ගඩොල් පෝරණුවක් සාදන ලදී. ඒ අනුරාධපුර ගල්කඩවල ප්‍රදේශයේය. අදත් අභයගිරිය වැනි ස්මාරක සංරක්ෂණය සඳහා ගඩොල් සපයා ගනු ලබන්නේ මෙම පෝරණුවෙන්ය.

ස්මාරක සංරක්ෂණයට යොදාගන්නා මෙම විශේෂ ගඩොල් හදලා තියන්නේ පරණ ගඩොල් වල ප්‍රමාණයටමයි. ඒත් මේ ගඩොල් එම පැරණි ගඩොල් වලට වඩා ශක්තියෙන් අඩු වෙන්න තමයි හදලා තියන්නේ. (ගඩොලේ ශක්තිය මනිනු ලබන්නේ වර්ග අඟලට බර දැරීමේ හැකියාව රාත්තල් කියන ඒකකයෙනි. PSI) එයට හේතුව යම් ස්වභාවික හේතුවක් නිසා ස්මාරකය හායනයට ලක්වුවහොත් අලුතින් එක් කළ ගඩොල් විනාශ වී පැරණි කොටස් ආරක්ෂා කර ගැනීමයි.

ඒ වගේම මේ ගඩොල් වල මධ්‍යම සංස්කෘතික අරමුදලේ සලකුණ හා බුද්ධ වර්ෂය යොදා තිබෙනවා. පැරණි ස්මාරකයක් සංරක්ෂණයේදී අලුත් ගඩොල් යොදා ගන්නා අවස්ථා තිබෙන අතර එසේ එකතු කළ ගඩොල් පසුව හදුනාගැනීම සඳහායි මෙවැනි සලකුණක් යොදන්නේ. බුද්ධ වර්ෂය යෙදීමෙන් පසු කාලයකදී ස්මාරකයේ සංරක්ෂණ කටයුතු සිදුවූ කාලය ගැන අදහසක් ද ඇති කර ගැනීමට හැකියි.





































මෙන්න මේ නිසයි ගෙවල් හදන්න ගන්න විදිහේ ගඩොල් ස්මාරක සංරක්ෂණයට යොදා නොගන්නේ....

2010/04/25

පැරණි තාක්ෂණය


දවසක් මම තිස්සමහාරාමයේ යටාල විහාරය පැත්තේ ගිය වෙලාවක තමයි මෙම බුදු පිළිමයක යට කොටස දැක්කේ. මේක යටාල වෙහෙරේ සලපතල මළුවේ අයිනක තමයි තිබුණේ. බුදු පිළිම වල කොටස් නිතර දැකලා තිබුණත් මේකේ විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි පැරණි ප්‍රතිමා නිර්මාණය තාක්ෂණය ගැන වැදගත් කරුණක් පෙනෙන්නට තිබීම. සමහර වෙලාවට සම්පූර්ණ පිළිමයක් හදන්න බැ‍රි වෙලාවට කොටස් වශයෙන් හදලා තියන්නේ මෙන්න මේ විදිහට. මේ විදිහට කොටස් සවි කිරීමෙන් පසුව හුණු බදාමයකින් පිළිමය ආවරණය කරන්නට ඇතියි කියලා හිතන්න පුළුවන්. ඉන් පසුව වර්ණ ආලේප කිරීමත් සිදුකරන්නට ඇති. පැරණි ගල් පිළිම වල ඉතිරි වී ඇති බදාම කොටස් හා වර්ණ කොටස් අනුව අපිට එවැනි නිගමනයකට එන්න පුළුවන්. මේ විදිහට සකස් කිරීමෙන් පසුව කොටස් වශයෙන් සවි කළ එකක්ද, තනි ගලින් සෑදූ එකක්ද කියලා බාහිරින් බලලා හොයන්න බෑ. මෙහි උඩ කොටස නම් දකින්නට තිබුණේ නෑ.

2010/03/03

තිස්සමහාරාමයටත් වඩා පැරණි සදගිරිය

මම මේ දවස් වල ඉන්නේ තිස්සමහාරාමය ප්‍රදේශයේ.

තිස්ස කිව්වොත් හැමෝටම මතක් වෙන්නේ තිස්සමහාරාම මහා ස්තූපය විතරයි. ඒ වුනාට තවත් වැදගත් පුරාවස්තු රැසක් මේ නගරයේ හා ඒ අවට වැළලී තියෙනවා. අන්න ඒවා අතරින් තිස්සමහාරාම ස්තූපයට පිටුපසින්, මීටර් 200 ක පමණ දුරකින් පිහිටලා තියෙන සදගිරිය විහාර සංකීර්ණය ගැන විස්තරයක් ඉදිරිපත් කිරීමට මම අදහස් කළා. තිස්සමහාරාම විහාරයට සංචාරකයින් කොච්චර ආවත් ඒ අසල ම තියෙන, පුරාවිද්‍යාත්මක අතින් ඉතා වැදගත් සදගිරියට කාගෙවත් අවධානයක් යොමු වෙන්නේ නැහැ.

ඔබලා අහල ඇති පැරණි මාගම්පුර නගරය ගැන. මාගම්පුරය කියන්නේ ලංකාවේ දකුණු ප්‍රදේශයේ පිහිටා තිබුණු, රෝහණ උප රාජධානියේ අගනුවරයි. රෝහණයෙන් පහළ වූ විශිෂ්ට පාලකයෙක් වූ දුටුගැමුණු රජතුමාගේ ළමා කාලය ගෙවුනෙත් මෙන්න මේ මාගම්පුරයේ. තිස්සමහාරාමය කියන්නේ පැරණි මාගම්පුර රාජධානියේ ප්‍රධානම සිද්ධස්ථානයයි. මම කළින් කිවූ සදගිරිය රෝහණ රාජධානියේ ආරම්භක පාලකයා වූ මහානාග කුමරුන් විසින් ඉදි කරන්නට ඇති බවයි විශ්වාස කරන්නේ. ඒ අනුව තිස්සමහාරාම විහාරයටත් වඩා අතීතයක් සදගිරියට හිමිවෙනවා. අද වන විට මේ ස්තූපය තියන්නේ ප්‍රතිසංස්කරණය කරමින්. ඒ මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිස්සමහාරාම ව්‍යාපෘතිය මගින්.














සම්පූර්ණ විහාර සංකීර්ණය මතුකරගෙන නැතත් විහාරයට අයත් ප්‍රධාන ගොඩනැගිලි කිහිපයක් ම මේ වන විට කැණීම් මගින් පාදා සංරක්ෂණය කර අවසන්. ඒ පිළිමගෙය, ජන්තාඝරය, බෝධිඝරය යන ඒවා ය. මේ වාස්තුවිද්ය්‍යාත්මක ඉදිකිරීම් සියල්ලක්ම සදගිරිය පැත්තේ ගියොත් ඔබට දැක ගැනීමට බාධාවක් නෑ.

ස්තූපය අසල ම තමයි බෝධිඝරය පිහිටා තියෙන්නේ. යුග කිහිපයකට අයත් ඉදිකිරීමේ ලක්ෂණ හා පැරණි බදාම කොටස් පවා එහි දැකිය හැකියි. (පහත රූපය)















ස්තූපය අසලින් ඇති ගුරු පාර දිගේ ඉදිරියට ගිය විට කෙළින්ම වැටෙන්නේ ප්‍රවේශ දොරටුවකින් හා සීමා ප්‍රාකාරයකින් සමන්විත (මගේ අදසහස අනුව තිස්සමහාරාමයේ ඇති අලංකාරතම පැරණි ගොඩනැගිල්ල) ගොඩනැගිල්ලක් වන පිළිමගෙයට. (පහත රූපය)















ජන්තාඝරයට යන්න නම් වෙන්නේ අනුන්ගේ වතු හරහා. මීට අමතරව තවත් ගොඩනැගිලි රැසක් මේ අවට විසිර තිබෙනවා. එහෙත් ඒවා තවමත් ඇත්තේ පසින් යටවෙලා. මේ ගොඩනැගිලි සම්බන්ධ කරමින් අතීතයේ දී මාර්ග පද්දතියක් විහිදී තියෙන්නට ඇති. නමුත් මේවා සොයා ගන්නට කැණීම් සිදු කළ යුතුව පවතිනවා. මේ ප්‍රදේශය දැඩි ලෙස ජනාවාසකරණය වී තිබීම නිසා පැරණි මාගම නගරය හා පූජා නගරයට අයත් මෙවැනි සාධක යළි මතු කිරීමට දීර්ඝ කාලයක් ගතවෙනු ඇතැයි සිතිය හැකිය. තිස්ස නගරය යට පවා පැරණි පූජා නගරයේ නටබුන් විසිර පවතී. තිස්ස නගරය මධ්‍යයෙන්යෙන් අනාවරණය කරගත් පොහොයගෙය මේ සදහා නිදසුනකි. (පහත රූපය)















ඊට අමතරව ජනප්‍රවදයේ එන ලෙස අඩි 50 - 80 ක් පමණ උසින් යුතු යෝධ ගල් පිළිමයක් තිස්ස නගරය ම්‍ධ්‍යයේ තිබෙනවා. පිළිමයේ එතරම් විශාල විය නොහැකිවුවත් ගල් පිළිමයක් ඒ කියන ප්‍රදේශයේ තිබිය හැකි බවයි පුරාවිද්‍යාඥයින්ගේ අදහස. මේ ජනප්‍රවාදය ගැන කාලෙකට කලින් ලක්බිම පත්තරේ ගවේෂණාත්මක ලිපියක් පළවුනා මට මතකයි.

ලංකාවේ ඇති අනෙකුත් පැරණි නගර හා සැසදීමේදී මාගම්පුරය තවමත් එතරම් මතුකර ගෙන නොමැති රාජධානයක් ලෙසයි පැවසීම‍ට ඇත්තේ. ඉතින් ඔබ පුරාවිද්යාගවට උනන්දුවක් දක්වන සංචාරකයෙක් නම් තිස්ස පැමිණි විටක මෙම ස්ථාන නැරඹීමට යාමට අමතක කරන්න එපා.....