2010/03/03

තිස්සමහාරාමයටත් වඩා පැරණි සදගිරිය

මම මේ දවස් වල ඉන්නේ තිස්සමහාරාමය ප්‍රදේශයේ.

තිස්ස කිව්වොත් හැමෝටම මතක් වෙන්නේ තිස්සමහාරාම මහා ස්තූපය විතරයි. ඒ වුනාට තවත් වැදගත් පුරාවස්තු රැසක් මේ නගරයේ හා ඒ අවට වැළලී තියෙනවා. අන්න ඒවා අතරින් තිස්සමහාරාම ස්තූපයට පිටුපසින්, මීටර් 200 ක පමණ දුරකින් පිහිටලා තියෙන සදගිරිය විහාර සංකීර්ණය ගැන විස්තරයක් ඉදිරිපත් කිරීමට මම අදහස් කළා. තිස්සමහාරාම විහාරයට සංචාරකයින් කොච්චර ආවත් ඒ අසල ම තියෙන, පුරාවිද්‍යාත්මක අතින් ඉතා වැදගත් සදගිරියට කාගෙවත් අවධානයක් යොමු වෙන්නේ නැහැ.

ඔබලා අහල ඇති පැරණි මාගම්පුර නගරය ගැන. මාගම්පුරය කියන්නේ ලංකාවේ දකුණු ප්‍රදේශයේ පිහිටා තිබුණු, රෝහණ උප රාජධානියේ අගනුවරයි. රෝහණයෙන් පහළ වූ විශිෂ්ට පාලකයෙක් වූ දුටුගැමුණු රජතුමාගේ ළමා කාලය ගෙවුනෙත් මෙන්න මේ මාගම්පුරයේ. තිස්සමහාරාමය කියන්නේ පැරණි මාගම්පුර රාජධානියේ ප්‍රධානම සිද්ධස්ථානයයි. මම කළින් කිවූ සදගිරිය රෝහණ රාජධානියේ ආරම්භක පාලකයා වූ මහානාග කුමරුන් විසින් ඉදි කරන්නට ඇති බවයි විශ්වාස කරන්නේ. ඒ අනුව තිස්සමහාරාම විහාරයටත් වඩා අතීතයක් සදගිරියට හිමිවෙනවා. අද වන විට මේ ස්තූපය තියන්නේ ප්‍රතිසංස්කරණය කරමින්. ඒ මධ්‍යම සංස්කෘතික අරමුදලේ තිස්සමහාරාම ව්‍යාපෘතිය මගින්.














සම්පූර්ණ විහාර සංකීර්ණය මතුකරගෙන නැතත් විහාරයට අයත් ප්‍රධාන ගොඩනැගිලි කිහිපයක් ම මේ වන විට කැණීම් මගින් පාදා සංරක්ෂණය කර අවසන්. ඒ පිළිමගෙය, ජන්තාඝරය, බෝධිඝරය යන ඒවා ය. මේ වාස්තුවිද්ය්‍යාත්මක ඉදිකිරීම් සියල්ලක්ම සදගිරිය පැත්තේ ගියොත් ඔබට දැක ගැනීමට බාධාවක් නෑ.

ස්තූපය අසල ම තමයි බෝධිඝරය පිහිටා තියෙන්නේ. යුග කිහිපයකට අයත් ඉදිකිරීමේ ලක්ෂණ හා පැරණි බදාම කොටස් පවා එහි දැකිය හැකියි. (පහත රූපය)















ස්තූපය අසලින් ඇති ගුරු පාර දිගේ ඉදිරියට ගිය විට කෙළින්ම වැටෙන්නේ ප්‍රවේශ දොරටුවකින් හා සීමා ප්‍රාකාරයකින් සමන්විත (මගේ අදසහස අනුව තිස්සමහාරාමයේ ඇති අලංකාරතම පැරණි ගොඩනැගිල්ල) ගොඩනැගිල්ලක් වන පිළිමගෙයට. (පහත රූපය)















ජන්තාඝරයට යන්න නම් වෙන්නේ අනුන්ගේ වතු හරහා. මීට අමතරව තවත් ගොඩනැගිලි රැසක් මේ අවට විසිර තිබෙනවා. එහෙත් ඒවා තවමත් ඇත්තේ පසින් යටවෙලා. මේ ගොඩනැගිලි සම්බන්ධ කරමින් අතීතයේ දී මාර්ග පද්දතියක් විහිදී තියෙන්නට ඇති. නමුත් මේවා සොයා ගන්නට කැණීම් සිදු කළ යුතුව පවතිනවා. මේ ප්‍රදේශය දැඩි ලෙස ජනාවාසකරණය වී තිබීම නිසා පැරණි මාගම නගරය හා පූජා නගරයට අයත් මෙවැනි සාධක යළි මතු කිරීමට දීර්ඝ කාලයක් ගතවෙනු ඇතැයි සිතිය හැකිය. තිස්ස නගරය යට පවා පැරණි පූජා නගරයේ නටබුන් විසිර පවතී. තිස්ස නගරය මධ්‍යයෙන්යෙන් අනාවරණය කරගත් පොහොයගෙය මේ සදහා නිදසුනකි. (පහත රූපය)















ඊට අමතරව ජනප්‍රවදයේ එන ලෙස අඩි 50 - 80 ක් පමණ උසින් යුතු යෝධ ගල් පිළිමයක් තිස්ස නගරය ම්‍ධ්‍යයේ තිබෙනවා. පිළිමයේ එතරම් විශාල විය නොහැකිවුවත් ගල් පිළිමයක් ඒ කියන ප්‍රදේශයේ තිබිය හැකි බවයි පුරාවිද්‍යාඥයින්ගේ අදහස. මේ ජනප්‍රවාදය ගැන කාලෙකට කලින් ලක්බිම පත්තරේ ගවේෂණාත්මක ලිපියක් පළවුනා මට මතකයි.

ලංකාවේ ඇති අනෙකුත් පැරණි නගර හා සැසදීමේදී මාගම්පුරය තවමත් එතරම් මතුකර ගෙන නොමැති රාජධානයක් ලෙසයි පැවසීම‍ට ඇත්තේ. ඉතින් ඔබ පුරාවිද්යාගවට උනන්දුවක් දක්වන සංචාරකයෙක් නම් තිස්ස පැමිණි විටක මෙම ස්ථාන නැරඹීමට යාමට අමතක කරන්න එපා.....

2 ප්‍රතිචාර:

Hasitha Gunasinghe said...

මහා විජයබාහු රජතුමා පිළිසකර කරා කියලා කියන්නේත් මේ සඳගිරි වෙහෙරම නේද අයියා ?

Anonymous said...

අෂ්ට ඵල බෝධියක් රෝපණය කර තිබුණේ මෙහි ද